Monday, August 26, 2019

ජෝන් ඔස්ට්‍රම් (John Ostrom)


පෙබරවාරී මස 18 දිනට තමයි යෙදී තිබෙන්නේ ෆොසිල විද්‍යඥ ජෝන් හැරල්ඩ් ඔස්ට්‍රම්ගේ උපන් දිනය.

ජෝන් ඔස්ට්‍රම්

1928 දී උපත ලබන මෙතුමා තමයි 1960 දශකයට පෙර ඩයිනෝසරයන් පිලිබඳව තිබුනු බොහෝ වැරදි මතයන් නිවැරදි මාවතට යොමු කරේ. ඔස්ට්‍රම්ව හඳුන්වන්නේ 'ඩයිනෝසරයන්ගෙ ගැලවුම්කරු' ලෙස. නූතන සිද්ධාන්ත බොහෝමයකට මඟ පෑදීම සිදුකල මේ හැරවුම් ලක්ෂය අද වෙද්දි ඉතාමත් නිවැරදි ලෙස සනාථව තිබෙනවා.

1960 දශකයට පෙර තිබුනු මතය තමයි ඩයිනෝසරයන් යනු ඉතාමත් මන්දගාමී, උරගයන් බඳු සත්ව කොට්ඨාසයක් බව. නමුත් ඔස්ට්‍රම් ඔහුට වඩා සියවසකට පමණ පෙර ජීවත්වු තෝමස් හෙන්රි හක්ස්ලිගෙ මතයන් තවදුරටත් දියුණු කරමින් ප්‍රසාරිත මතයක් ඉදිරිපත් කරනවා ඩයිනෝසරයන් වඩාත් සමාන වන්නෙ උරගාකාරයන්ට නොව පක්ශීන්ට බව. සරලවම ඩයිනෝසරයන් යනු පියාසැරිය රහිත පක්ශින්ට සමාන සත්වයන් බව ඔස්ට්‍රම් ප්‍රකාශ කරනවා.

1960 දශකයට පෙර ඩයිනෝසරයන් පිළිබඳව නිපදවා තිබෙන චිත්‍රපට ඔබ නැරඹුවොත් දකින්නට ලැබෙන්නෙ ඉතාමත් මන්දගාමී,අලස මෘගයන් ලෙස නිර්මිත ඩයිනෝසරයන්. ඒ ඔස්ට්‍රම්ට පෙර තිබු මතයන් සමාජගත වු ආකාරය. ඔස්ට්‍රම්ගෙ නව යොමු කිරීමත් සමඟ මේ සංදර්භය වෙනස් වීමකට ලක්වෙනවා. ඔස්ට්‍රම් විසින් එකල ප්‍රතිනිර්මාණය කරන ඉතාමත් වේගවත්, රුදුරු, විලෝපික ඩ්‍රොමසෝරස් ප්‍රතිනිර්මාණය උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

ඒ වගේම ඔබ අද ජුරාසික් පාර්ක් චිත්‍රපට තුල දකින වෙලෝසිරැප්ටර් විශේෂ සත්‍ය වශයෙන්ම පදනම් වන්නෙ වෙලෝසිරැප්ටර් නැමැති විශේෂය මත නොවෙයි. ඩයිනෝනිකස් නැමැති රැප්ටර් විශේෂය මත තමයි මේ නිර්මාණය පදනම් වන්නෙ. ඩයිනොනිකස් , ආර්කිඔප්ටරික්ස් සහ පියාසැරි වැනි ශාස්ත්‍රීය ප්‍රකාශන විශාල ප්‍රමාණයක් බැර වන්නෙ ඔස්ට්‍රම්ගෙ නමින්. ඩ්‍රොමොසෝරිඩේ කුලයට අයත් ඩයිනොනිකස්  වෙලෝසිරැප්ටර් , මයික්‍රොරැප්ටර්, යූටා රැප්ටර් වැනි රැප්ටර් විශේෂ ගනනාවක පසුකාලීන සංචරණ රටාවන් පදනම් වන්නෙ ඔස්ට්‍රම්ගෙ සොයාගැනීම් මත. ඔස්ට්‍රම් සමඟ ඇතිවන මේ වෙනස 1960 දශකයෙන් පසු නිපදවු චිත්‍රපට තුල දැකගන්න පුළුවන්. ජුරාසික් පාර්ක් වැනි බොක්ස්ඔෆිස් වාර්තා තබන චිත්‍රපටවල සිටින වේගවත් මෘගයන් උපත ලබන්නේ ඔස්ට්‍රම්ගෙ සිද්ධාන්ත තුලින්. 2005 ජූලි 16 දින මෙලොව හැර යන ඔස්ට්‍රම් මිය යන විට වයස 77.

එන්ටර්ටේන්මන්ට් එහෙම නැත්තන් විනෝදාස්වාදය තුල අප දකින ඩයිනෝසර චිත්‍රපට තුල ඇති විද්‍යාත්මක යථාර්ථයන් පසුපස සිටින මිනිසුන් ඒකි සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට ගන්නා වෙහෙස අතිමහත්. පෘථිවිය නැමැති අප ජීවත්වන කුඩා ග්‍රහලොව ජෛව ඉතිහාසය තේරුම් ගැනීමේ කාර්යභාරයට දායක වන්නන් පිලිබඳව මතකය අවදිකල යුත්තේ එබැවින්.

පහත ඡායාරූපයෙ තිබෙන්නෙ 1967 වර්ශයේදි ඔස්ට්‍රම්ගෙ ශිෂ්‍ය රොබර්ට් බැකර් විසින් ප්‍රතිනිර්මිත ඩයිනොනිකස් චිත්‍රයක්. (බැකර් ඔස්ට්‍රම්ගෙ සිද්ධාන්ත ඉදිරියට ගෙන ගිය තවත් විද්‍යාඳයෙක්) මේ ශාස්ත්‍රීය පත්‍රිකාව පලවන්නෙ 1969 වර්ශයේදි. ඩයිනොනිකස් ලොවට හඳුන්වාදෙන්නෙ එමඟින්.

ඩයිනොනිකස් චිත්‍රය


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment