Tuesday, August 27, 2019

ඩොලොකැරිස් ඉන්ජෙන්ස් (Dollocaris ingens)


ජුරාසික් අවධිය තුල සාගරය තුල විසූ ඉතාමත් විශේෂිත සත්වයෙකුගෙ ප්‍රතිනිර්මාණ තමයි පහත ඡායාරූපවල තිබෙන්නෙ. 2016 වර්ශයේදි ප්‍රකාශයට පත්කල මේ විශේෂ ඩොලොකැරිස් ඉන්ජෙන්ස් (Dollocaris ingens) නැමැති විද්‍යාත්මක නාමයෙන් තමයි හඳුන්වනු ලබන්නෙ.

ඩොලොකැරිස් ඉන්ජෙන්ස්

තයිලකොසෙෆලා නැමැති කාණ්ඩයට අයත් වන මේ සත්වයන් වඩාත් සමීප වන්නෙ ක්‍රස්ටේසියාවන්ට. ක්‍රස්ටේසියාවන් යනු ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් වැනි සත්වයන් අයත් තක්සෝන කාණ්ඩය. 'caris' නැමැති ප්‍රථ්‍ය විද්‍යාත්මක නාමයකට එක් වන විට එහි අර්ථය 'ඉස්සෙකු වැනි'. මීට පෙර පරිණාමික දිනපොත තුලින් ඉදිරිපත්කල 'ඇනමලොකැරිස්' සත්වයන්ගෙ නාමයටත් මේ ප්‍රථ්‍ය එක්වනවා. ඔබට මතක ඇති එම සත්වයාත් ඉස්සන් කාණ්ඩයට සමීපතාවක් දක්වන බව.

ඩොලොකැරිස් සත්වයන් 20 cm පමණ ප්‍රමාණයකට වැඩුන සත්ව විශේෂයක්. විලෝපික සත්ව කාණ්ඩයක් වන මොවුන්ගෙ විශේෂතම ලක්ෂණය තමයි ඉතා විශාල සංයුක්ත ඇස් පිහිටීම. කාච 18000 කින් පමණ සමන්විත මේ අක්ශි තුලින් ඩොලොකැරිස් සත්වයන් තියුණු දෘශ්ඨියකට හිමිකම් කී බවත්, එමඟින් ගොදුරු දඩයමේ යෙදී ඇති බවත් විද්‍යාඥයන් සඳහන් කරනවා. ඩොලොකැරිස් සත්වයන්ගෙ සමස්ථ ශරීර ප්‍රමාණයෙන් 1/4 ප්‍රමාණයකට හිමිකම් කියන්නෙ මේ සංයුක්ත ඇස්.

ඩොලොකැරිස් සත්වයන්ගේ සංයුක්ත ඇස්

වසර මිලියන 163 පමණ ඉහත පැවති මධ්‍ය ජුරාසික යුගයට අයත් ප්‍රංශයෙන් හමුවන ෆොසිල සාධක තුල තමයි ඩොලොකැරිස් ෆොසිල හමුවන්නෙ. ජුරාසික යුගය අවසානයත් සමඟම ඩොලොකැරිස් ෆොසිල වාර්තාවලින් ඉවත් වනවා. ඒ කියන්නෙ ඔවුන් නශ්ඨවීමට ලක්ව ඇති බව. ඩොලොකැරිස් සත්වයන්ගෙ ස්වරූපය සැබවින්ම ගුප්ත ස්වරූපයක් දරන ශරීරාකාරයක්. මෙවන් සත්ව විශේෂ මිලියන ගනනක් මිහිමත ජීවත්ව නශ්ඨවීම සිදුව තිබෙනවා.

ගුප්ත ස්වරූපයක් දරන ශරීරාකාරය

ඩොලොකැරිස් ඉන්ජෙන්ස් සහ ඔවුන් අයත් වන තයිලකකොසෙෆලා කාණ්ඩය විද්‍යාවට තවමත් නව කාණ්ඩයක්. ඉදිරියෙදි සිදුවන පර්යේෂණ මඟින් මෙම සත්වයන් ගැන තොරතුරු වඩාත් පැහැදිලි වනු ඇත.


(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment