Monday, August 26, 2019

ග්ලිප්ටොඩොන් (Glyptodon)


ප්ලයස්ටොසීන යුගය තුල (අදින් වසර මිලියන 2.5 කට පමණ පෙර ආරම්භවී වසර 11700 කට පෙර අවසන් වූ යුගය) දකුණු ඇමරිකානු කලාපය තුල සම්භවය වූ අපූරු සත්ව ගනයක් ග්ලිප්ටොඩොන් ලෙස හඳුන්වනවා. 

ග්ලිප්ටොඩොන් සතුන් අයත් වන්නෙ ග්ලිප්ටොඩොන්ටිනේ (Glyptodontinae) නැමැති උපකුලයට. ග්ලිප්ටොඩොන්ටිනේ උප කුලය ඤාතීත්වයක් දක්වන්නෙ වර්තමානයේදි ජීවත් වන ආර්මඩිලෝ සත්වයන්ට. 

ආර්මඩිලෝ සත්වයන් යනු ඝනකමින් යුත් ශරීරාවරණයක් සහිත සත්ව කාණ්ඩයක්. ඇතැම් සිංහල ව්‍යවහාර භාවිතයේදි ආර්මඩිලෝ සත්වයන් කබල්ලෑවන් ලෙස හඳුන්වා ඇති අවස්ථා මා දැක තිබෙනවා, නමුත් කබල්ලෑවන් සහ ආර්මඩිලෝ සත්වයන් යනු සමීප පරිණාමික සබඳතාවක් දක්වන සත්වයන් නෙවෙයි. කබල්ලෑවන් අයත් වන්නෙ ෆොලිඩෝටා ගෝත්‍රයට නමුත් ආර්මඩිලෝ සත්වයන් අයත් වන්නෙ සෙනාත්‍රා ගෝත්‍රයට. ඒ වගේම කබල්ලෑ විශේෂ පැතිර තිබෙන්නෙ පැරණි ලෝකය ලෙස හඳුන්වන කලාප වල, එනම් ආසියාව සහ අප්‍රිකානු කලාප. ආර්මඩිලෝ සත්වයන් පැතිර තිබෙන්නේ නව ලෝකය ලෙස හඳුන්වන කලාප තුල, එනම් දකුණු සහ උතුරු ඇමරිකානු කලාප තුල.

ග්ලිප්ටොඩොන් සත්වයන් කියන්නෙ පෙර පැවසු පරිදි වර්තමානයේදි ජීවත් වන ආර්මඩිලෝ සත්වයන්ට ඤාතීත්වයක් දක්වන සතුන් කොටසක්. ආර්මඩිලෝ සත්වයන් කුඩා ප්‍රමාණයේ සුනඛයෙකු තරම් විශාලව වැඩුනත් ග්ලිප්ටොඩොන් යනු කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් තරම් විශාලව වැඩුනු සත්ව ගනයක්. බ්‍රසීලය, උරුගුවේ, ආර්ජන්ටිනා, බොලීවියා, ආදී රටවලින් ග්ලිප්ටොඩොන් සත්වයින්ට අයත් ෆොසිල විශාල වශයෙන් ලැබෙනවා. මේ ෆොසිල වාර්තා අනුව විවිධ පාරිසරික තත්වයන්ට අනුගත වු ග්ලිප්ටොඩොන් විශේෂ ජීවත් වු බවට සාධක ලැබී තිබෙනවා. ඇතැම් විශේෂ වනාන්තර තත්වයන්ටත් , තවත් විශේෂ තෘණ පඳුරු ගහන කලාපයන්ටත්, අර්ධ ශුශ්ක පාරිසරික තත්වයන්ටත් අනුගත වු ග්ලිප්ටොඩොන් විශේෂ ප්ලයස්ටොසීනය තුල ජීවත්ව තිබෙනවා.

ග්ලිප්ටොඩොන්

ලැබෙන ෆොසිල සාධක අනුව ඇතැම් ග්ලිප්ටොඩොන් විශේෂ මීටර් 3.3 (අඩි 11) පමණ දිගිනුත් , මීටර් 1. 5 (අඩි 4.9) උසිනුත් වැඩී තිබෙනවා. ආසන්න බර ටොන් දෙකක් පමණ. සන්නාහයක් බඳු ඝනකම් පොතු වැන්නකගෙන් සකස් වු ශරීරාවරණයක් මේ සත්වයන් සතුව තිබෙනවා. එමෙන්ම වල්ගය කෙලවර ඇතැම් විශේෂ වල කටු සහිත පහර දීමේ උපාංගයක් හෝ බරින් යුත් මුගුරක් වැනි උපාංගයක් පිහිටා තිබෙනවා.

වල්ගය කෙලවර උපාංගය ආරක්ෂාව සඳහා භාවිතා කර තිබෙනවා වගේම වර්ගයා අතර සටන් වලදිත් භාවිතා කර තිබෙන බවට සාධක තිබෙනවා.ඇතැම් ග්ලිප්ටොඩොන් ෆොසිල වල වෙනත් ග්ලිප්ටොඩොන් සත්වයින්ගේ පහරදීමෙන් ඇති වූ කැලැල් සහ බිඳීම් දකින්න පුළුවන්.

ඝණකම් පිට ආවරණයක් පැවතියත් මේ සත්වයින්ගේ යටි පෙදෙස ආවරණයකින් තොර නිසා ප්ලයස්ටොසීනය අවසන් අදියර තුල ඇමරිකානු මහද්වීපයට සංක්‍රමණය වූ හෝමෝ සේපියානුවන් මේ සත්වයින් කුමන හෝ අයුරකින් පෙරලා යටි පෙදෙසට පහර දීමෙන් දඩයම් කර තිබෙනවා. ග්ලිප්ටොඩොන් පිට ආවරණය ප්‍රාග්ඓතිහාසික මානවයන් විසින් අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීමට භාවිතා කල බවට සාධක ලැබී තිබෙනවා.

ග්ලිප්ටොඩොන් සත්වයන් ප්ලයස්ටොසීන යුගයේ අවසානයත් සමඟම මිහිමතින් නශ්ඨවීම සිදුවෙනවා. ප්ලයස්ටොසීන මහා සත්ව සන්තතියේ වඳ වීමට බලපෑ මූලීකම හේතුවක් ලෙස මිනිසුන් විසින් දඩයමට ලක්කිරීම සඳහන් කරන්න පුළුවන්. එමෙන්ම ක්‍රමිකව සිදුවු දේශගුණික විපර්යාස හේතුවෙන් විචලනය වූ පාරිසරික තත්වයන් තවත් හේතුවක්.

වර්තමානයේදි ජීවත්වන ග්ලිප්ටොඩොන්ට පරිණාමිකව සමීප සබඳතාවක් දක්වන ආර්මඩිලෝ සත්වයෙකු පහත දැක්වෙනවා.

ආර්මඩිලෝ

(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment