Monday, August 26, 2019

ඩාර්වින් දිනය (Darwin Day)


අදින් හරියටම වසර 210 කට පෙර පෙබරවාරි මස 12 වන දින තමයි ශ්‍රේෂ්ඨ විද්‍යාඥ චාර්ල්ස් රොබර්ට් ඩාවින් උපත ලබන්නේ.

චාර්ල්ස් රොබර්ට් ඩාවින්

එතෙක් ලොව පැවති ස්වාභාව විද්‍යා සංදර්භයන් උඩු යටිකුරු කරමින් ජීවයේ පරිණාමයට හේතු කාරක වන මූලීක සිද්ධාන්ත පිළිබඳව එතුමා සිය නිරීක්ෂණ තුලින් ඉදිරිපත් කරනවා. ඩාර්වින් සිය ස්වාභාවික වරණවාදය ඉදිරිපත් කරන විට ආදී මානව ෆොසිල ලෝකය තුල සොයාගෙන තිබුනෙ නෑ. අවම තරමින් ඔස්ට්‍රලෝපිතෙකස් ගනයට අයත් මානව සැකිලි හෝ සොයාගෙන තිබුනෙ නෑ. පළමු ඔස්ට්‍රලෝපිතෙකස් සැකිල්ල සොයාගනු ලබන්නෙ 1924 වර්ශයේදි රේමන්ඩ් ආතර් ඩාර්ට් විසින් අප්‍රිකාවෙන්. ඒ ඩාර්වින් මිය ගොස් වසර 42 කට පසු. නමුත් විශේෂනය වීම නැමැති සංකල්පය තුල මිනිසාගෙ පූර්වජයන් හමුවිය යුත්තෙ අප්‍රිකානු භූමිය තුලින් බව ඩාර්වින් සිය 'ඩිසෙන්ට් ඔෆ් මෑන්' කෘතිය තුලින් සඳහන් කරනවා. ඩාර්වින් සිය ජීවීත කාලය තුලදි දක්නට නොලැබුනු දේ ඉදිරි අනාගතය තුල යම් දිනෙක සොයාගනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඩාර්වින් මියගොස් දැනට වසර 137. මේ කාලය තුල භෞතික මානව විද්‍යාව, ෆොසිල විද්‍යාව මඟින් ඩාර්වින් ප්රකාශ කල දැ සනාථ කරමින් ෆොසිල සාධක අනේක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. එමෙන්ම වරණයට හේතු පාදක වු ඩාර්වින්ට සොයාගැනීමට නොහැකි වූ ජානවල හැසිරීම තුලින්ද වරණවාදය සනාථ කර තිබෙන්නෙ. එකල විද්‍යාවේ ප්‍රාථමික බව තුල ඩාර්වින් සිය සිද්ධාන්ත වාදයක් ලෙස ඉදිරිපත් කරන විට බොහෝ සාධක ඔහු සතුව පැවතියේ නෑ. පරිණාම වාදය, එකල 'වාදයක්' වන්නෙ එලෙසින්. නමුත් ඩාර්වින් ඉදිරිපත් කල 'වාදය' මේ වසර 137 තුල විද්‍යාවේ ප්‍රගමනයත් සමඟ දෙයාකාරයකින් සනාථ කර තිබෙනවා. පළමුව මේ සමස්ථ කාලය තුල සොයාගත් ෆොසිල සාධක මඟින් සහ දෙවනුව ජානමය සාධක මඟින්.

අවාසනාවකට ලංකාව තුල අධ්‍යාපන ක්ෂේත්‍රය තුල තිබෙන දැනුම සංසරණයේ ඇති අඩුපාඩුව නිසා 99% පමණ දෙනා ඉගෙන ගෙන තිබෙන්නෙ හෝ අසා තිබෙන්නෙ 'පරිණාම වාදය' ගැන පමණයි. වාදය යනු ඩාර්වින් ඉදිරිපත් කල සෛද්ධාන්තික කරුණ ලෙස ඔවුන් වටහා ගත්තත් ඩාර්වින් එකල ඉදිරිපත් කල වාදය නූතන විද්‍යාව තුල අතිශයින්ම පැහැදිලි ලෙස සනාථ කර ඇති බව වටහා ගැනීමට තරම් මෙරට තුල විද්‍යා දැනුමේ පසුගාමීත්වයක් පවතින බව වටහාගත යුතුයි.

ඩාර්වින් පසුගිය සියවස් කිහිපය තුල පහළ වු අති ශ්‍රේෂ්ඨ විද්වතුන් අතරට යන්නෙ මේ කාරණය නිසා. එකල යුරෝපය වෙලා ගනිමින් පැවති විශ්වාස සහ දැඩි ආගමික පද්ධතිය තුල චාර්ල්ස් රොබර්ට් ඩාර්වින් නැමැති පුද්ගලයා ඉදිරිපත් කරනවා වාදයක් ඔප්පු කරගැනීමට පවා ප්‍රමාණවත් සාක්ශි තමන් සතුව නොමැතිව. තමන් ඉදිරිපත් කරන වාදය තමන් ජීවත් වන සමාජීය වටපිටාවෙ පවුරු පදනම් වලට දැඩි ලෙසම විරුද්ධ මතයක් බව දැන දැනම ඔහු සිය සොයාගැනීම ලෝකයා හමුවේ තබනවා. එකල යුරෝපීය විද්‍යා ගුරුකුල, ආගමික සහ සමාජීය වටපිටාව තුලින් ඩාර්වින්ට එල්ලවු ප්‍රහාරයන් අසීමිතයි. නමුත් වර්තමානය තුල ඔහුගෙ සොයාගැනීම් වල සත්‍යතාවන් සනාත වී තිබෙනවා.

දෙවනුව තමන් සතු නිරීක්ෂණ, සාක්ශි අතර පැහැදිලි හිදැස් පවතින බව ඩාර්වින් දකිනවා.නමුත් ඒ හිදැස් විද්‍යාවේ දියුණුවත් සමඟ යම් දිනෙක පිරවෙන බව ඩාර්වින් පෙරයීම් සිදුකරනවා. උදාහරණයකට මනුෂ්‍ය පූර්වජයන් අප්‍රිකානු භූමිය තුලින් හමුවිය යුතු බව එලෙස ඔහු සිදුකල එක් පෙරැයීමක්. ඔස්ට්‍රලෝපිතෙකස් ඇෆ්‍රිකානස්, ඔස්ට්‍රලෝපිතෙකස් ඇෆරෙන්සිස්, ඔස්ට්‍රලෝපිතෙකස් ගාරි, ඔස්ට්‍රලෝපිතෙකස් සෙඩිබා, ඔස්ට්‍රලෝපිතෙකස් ඇනැමෙන්සිස්, පැරන්ත්‍රෝපස් බොයිසි, පැරන්ත්‍රෝපස් රෝබස්ටස්, ආර්ඩිපිතෙකස් කඩබ්බා, හෝමෝ හැබිලිස්, හෝමෝ ඉරෙක්ටස් වැනි මානව පරිණාමික වෘක්ෂය තුල පූර්වජ පරම්පරාවන්ට අයත් ෆොසිල ලැබෙනුයෙ පසුකලකදි අප්‍රිකානු මහද්වීපය තුලින්. ඒ ඩාවින් පැවසු කරුණු සනාථ කරමින්.

පෙබරවාරි 12 දින ඩාර්වින් දිනය ලෙස සමරනු ලබන්නේ මේ අමරණීය විද්‍යාඥයාට ගෞරව පිණිසයි.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment