Thursday, August 29, 2019

වවුල් දිනය (Bat Appreciation Day)


අප්‍රේල් 17 වවුලන් සඳහා වෙන් කල දිනය. ඒ වෙනුවෙන් කෙටි සටහනක්.



මිහිමත ජීවය ආරම්භ වු දින සිට වෙනස් පරිණාමික මංපෙත් ඔස්සෙ අහසට ජීවය එසවෙනවා සිව් වතාවක්. ප්‍රථමයෙන්ම මීට වසර මිලියන 400 පමණ පෙර ඩෙවෝනියන් අවධියේදි කෘමි සත්වයන් පියාසැරිය අත්කර ගනු ලබනවා. ඉන්පසුව දෙවන වතාවට මීට වසර මිලියන 228 කට පමණ පෙර ට්‍රියැසික් අවධියේදි ටෙරෝසෝරයන් පියාසැරිය අත්කර ගනු ලබනවා. තෙවන වතාවට පියාසැරිය අත්කර ගනු ලබන්නෙ පක්ශින්. ඒ මීට වසර මිලියන 60 කට පමණ පෙර ක්‍රිටැසියස් අවධියේදි. අවසන් වතාවට ජීවය ඉහලට එසවෙන්නෙ මීට වසර මිලියන 50 කට පමණ පෙර ඉයෝසීනයේදි. මේ සත්ව ගෝත්‍රව අපි වර්තමානයේදි හඳුන්වනු ලබන්නේ කයිරොප්ටෙරාවන් ලෙස. කයිරොප්ටෙරාවන් යනු වවුලන්.

පියාසැරිය අත්කරගත් එකම ක්ශීරපායි ගෝත්‍රය බවට පත්වන්නෙ කයිරොප්ටෙරාවන්. වර්තමාන පෘථෘවිය තුල ඉතාමත් විවිධත්වයකින් හෙබි ලොව පවතින සියළුම පාරිසරික නිකේතන ජයගත් කයිරොප්ටෙරාවන් විශේෂ 1200 ක් පමණ ජීවත් වෙනවා. අපි ජීවත් වෙන ඉන්දියන් සාගරයේ මේ කුඩා දූපතේ පමණක් විශේෂ 30 පමණ සිටිනවා.

නිශාචර, දිවාචර, මාංශභක්ෂක, පලතුරු භක්ෂක, මත්ස්‍ය භක්ෂක, කෘමි භක්ෂක ආදී විවිධාකාර වලින් මොවුන් දැක ගන්න පුළුවන්. බොහෝ විශේෂ නිශාචර නිසා රාත්‍රි අන්ධකාරයත් සමඟ ඔවුන් ඉහලට එසවෙනවා. පාරිසරික පද්ධති වල තුලනය සඳහා අතිමහත් දායකත්වයක් දක්වන මේ අපූර සත්ව කාණ්ඩයෙන් සිදුවන මෙහෙය අමිලයි. පරාගනය, බීජ ප්‍රරෝහනය සඳහා දායකත්වය, කෘමි භක්ෂකනය තුලින් කෘමින් පාලනය, වනාන්තර ස්වාභාවික ප්‍රසාරණය උදෙසා බීජ රැගෙන යාම ආදී දහසක් කාරණා මේ සත්ව කාණ්ඩය අතින් සිදුවෙනවා.

වානාන්තර විනාශය, වවුලන් ලගින ගස් විශේෂ කපා දැමීම, හඳුනාගත නොහැකි රෙඩ රෝග ආදී කාරණා නිසා මේ සත්වයන් අඩු වීමෙන් පාරිසරික ප්‍රශ්න ගනනාවක් වර්තමානයේදි උද්ගත වෙමින් පවතිනවා.

වවුලන් කියන්නෙ අපූරු සත්ව කාණ්ඩයක්, ඔවුන්ගෙ හැසිරීම් රටා, සන්නිවේදන ක්‍රම, පියාසැරි ක්‍රම, ගොදුරු සොයාගැනීමේ උපක්‍රම ආදිය ගැන ඔබ මඳක් සොයා බැලුවොත් මේ අපූරු බව දකින්න පුළුවන්. අප අයත් ප්‍රයිමේටාවන් ලොව බිහිවන යුගයේදිම පරිණාමය වූ කයිරොප්ටෙරාවන් අපේ පැවැත්මටත් වැදගත් වන්නෙ ඒ නිසා.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment