Monday, August 26, 2019

ජයිගැන්ටොපිතෙකස් (Gigantopithecus)


වසර මිලියන 9 කට පමණ එපිටින් මයෝසීන අවධියේ අවසන් අදියරේදි අපට නුදුරු ඉන්දියාවේ සහ වියට්නාමය, චීනය, ඉන්දුනිසියාව ආදී ප්‍රදේශ තුල යෝධ සත්වයෙක් සැරිසරනවා. මේ කාලෙදිම තමයි මානව පරිණාමික කතාවේ සුවිශේෂී පුරුකක් වන 'හෝමෝ ඉරෙක්ටස්' මානවයන් ලෝකය ආක්‍රමණය කරන්නෙ. ඉරෙක්ටස්වරුන් ආසියාව පුරා විවිධාකාර පාරිසරක තත්වයන් තුල තහවුරු වෙන මේ කාලය තුල අප, ඉරක්ටස්වරුන්, ඉහල ප්‍රයිමේටාවන් යන සියල්ලන්ටම යම්තාක් දුරකට ඤාතීත්වයක් දක්වන පෙර කී යෝධයන් ආසියානු වනාන්තර තුල ජීවත් වනවා.

'ජයිගැන්ටොපිතෙකස්'... ග්‍රීක් භාෂාවෙන් ව්යුත්පන්න වන 'ගිගාස්' පදය තුලින් අදහස් කරන්නෙ 'යෝධ' යන අර්ථය. ග්‍රීක බසින්ම 'පිතෙකස්' යන්නෙහි අරුත 'වානරයා'. යෝධ වානරයා නොහොත් ජයිගැන්ටොපිතෙකස් තමයි එතෙක් මෙතෙක් පෘථිවිය තුල සැරිසරූ විශාලතම ප්‍රයිමේටාවා. ජයිගැන්ටොපිතෙකස් කියන්නෙ ඇත්තටම ගන නාමය. ජයිගැන්ටොපිතෙකස් විශේෂ ත්‍රිත්වයක් මේවන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් විශාලතම විශේෂය ලෙසද හඳුන්වන්නේ 'ජයිගැන්ටොපිතෙකස් බ්ලැකී' නැමැති විශේෂය. මීටර් තුනක් පමණ උස (අඩි 10 කට ආසන්න), බරින් 600 kg පමණ වන මේ වානරයන් වචනයේ පරිසමාප්තියෙන්ම යෝධයන්.


ජයිගැන්ටොපිතෙකස් ප්‍රමාණාත්මක සංසන්දනය

ජයිගැන්ටොපිතෙකස් ජීවත් වු සමය තුලදි ආසියානු කලාපය තුල ප්‍රමුඛ වනාන්තර පද්ධතියක් වන්නෙ උණ ගස් වනාන්තර. මේ යෝධ වානරයන් උණ ආහාරයට ගත් බවට තහවුරුව තිබෙනවා ඔවුන්ගෙ දත් පිලිබඳව සිදුකල පර්යේෂණ තුලින්. මේ සත්වයන්ගෙ උකුල් ඇට ආශ්‍රිත ෆොසිල හමුවී නොමැති බැවින් ඔවුන් ගමන්කල ආකාරය ගැන තවමත් පවතින්නේ උපකල්පන පමණයි. ප්‍රධානම මතය තමයි ඔවුන් ගෝරිල්ලන් , චිම්පන්සීන් ගමන් කරන ආකාරයට ගමන් ගත් බව. දෙවන මතය තමයි ඔවුන් මිනිසුන් ආකාරයෙන් ද්වීපාද සංචරණයේ යෙදුනු බව.

ජයිගැන්ටොපිතෙකස් වානරයන් අදින් වසර ලක්ෂයක් පමණ වනතෙක් ජීවත් වනවා. ඒ අනුව ප්‍රථම හෝමෝ සේපියන්වරු අප්‍රිකානු මහද්වීපය තුලින් යුරේසියාවට ඇතුල් වන විටත් ජයිගැන්ටොපිතෙකස් වානරයන් ජීවත්ව තිබෙනවා. වසර ලක්ෂකට පමණ පෙර ප්ලයස්ටොසීන යුගය තුල දේශගුණික විපර්යාස ගනනාවක් ඇතිවනවා. හිම යුගයන් ධ්‍රැවාසන්න කලාප තුලින් ප්‍රසාරණය වීමේ සෘජු බලපෑමක් ලෙස අනෙක් කලාප තුල අතිශයින් වියලි කාලයන් හටගන්නවා. එහි ප්‍රතිඵලය තමයි වන වැස්මේ වෙනස් වීම්. ජයිගැන්ටොපිතෙකස් ජීවත් වූ, ඔවුන් ප්‍රිය කල ආහාර මාධ්යන් ක්‍රමයෙන් සැවාන තෘණ භූමි බවට පරිවර්තනය වනවා.

ජයිගැන්ටොපිතෙකස් ප්‍රතිනිර්මාණයක්

ඒ වගේම ඉරෙක්ටස් මානවයන් මොවුන් ජීවත් වූ කලාප තුලට පැමිණීමෙන් ආහාර සඳහා තරඟයක් ඇතිවූ බවට විද්‍යාඥයන් පෙන්වා දෙනවා. සිතීමේ හැකියාවෙනුත්, අනුගත වීමේ හැකියාවෙනුත් ගව් ගනනාවක් පරිණාමයව සිටි ඉරෙක්ටස්වරුන් සමඟ තරඟ කිරීමට නියත ලෙසම ජයිගැන්ටොපිතෙකස්ට අසීරු වන්නට ඇති. මේ යෝධ වානරයන් වසර ලක්ෂකට පෙර සම්පූර්ණයෙන් නශ්ඨවීමට ලක් වෙනවා.

මේ කතාවේ විශේෂ දෙයක් තමයි ප්ලයස්ටොසීනයේ එකම කාලයක් තුල ඉහල ප්රයිමේටාවන් සිව් වර්ගයක් ආසියාව තුල ජීවත් වීම. ජයිගැන්ටොපිතෙකස් වානරයන්, හෝමෝ ඉරෙක්ටස්වරුන් , හෝමෝ නියැන්ඩර්තාල් වරුන් සහ හෝමෝ සේපියන්වරු වන අප එකම කාලයකදි ආසියාව තුල ජීවත් වෙනවා. මේක තවත් විදිහකින් කිව්වෝත් අතීතයට ගමන් කිරීමේ හැකියාව ලැබුනෙක් වසර ලක්ෂකට පෙර ආසියාව නිරීක්ෂණය කලොත් ඉන්දියාවේ එකම කලාප තුල ජයිගැන්ටොපිතෙකස් රංචුවක් උණපත් ආහාරයට ගන්නා විට ආසන්න ප්රදේශක ඉරෙක්ටස්වරුන් දැක ගන්න පුළුවන්.. ඊටත් නුදුරින් නියැන්ඩර්තාල්වරුන් දඩයමේ යෙදෙන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන්, ඒ එක්කම හෝමෝ සේපියන් කණ්ඩායම් පහත් භූමි තුලදි දැකගන්න පුළුවන්.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment