Tuesday, August 27, 2019

රාවණා පාලමේ ඇත්ත නැත්ත කුමක්ද? (Myth and reality of Ravana Bridge)


පරිණාමික දිනපොත තුලින් මිථ්‍ය විශ්වාස සඳහා පිලිතුරු සැපයීමට කාලය වෙන් නොකරන නමුත් දිගින් දිගටම කිහිප දෙනෙකු විසින් ප්‍රශ්න කර තිබෙනවා මන්නාරම, ඇඩම්ස් බ්‍රිජ් දූපත සහ දනුශ්කොඩි කෙලවර යා කරමින් දිවෙන භූගෝලීය පිහිටීම කුමක්ද ? එය මිනිසුන් විසින් තැනූවක්ද ? යන ගැටලු කිහිපය.

රාවණා පාලම

භූ ගෝලීය පිහිටීම, ඒවායේ කාල නීර්ණයන් සහ ප්‍රාග්ඉතිහාසය මේ පිටුවට අදාල විෂය පථය තුල දිවෙන්නක් බැවින් ඒ ගැන කරුණු සැපයීමක් සිදු කල යුතු නිසා මේ කෙටි සටහන ඉදිරිපත් කරනවා. මේ සඳහා මම භාවිතා කරන්නෙ 2018 මාර්තු 19 දින ප්‍රශ්න අංක 2610 යටතේ ඉන්දීය භූ විද්‍යා අමාත්‍යංශයට රාජ්‍ය සභාව තුලදි ගොනු කල ගැටලුව සහ ඊට ලබා දී ඇති පිලිතුරු.



ප්‍රශ්න අංක 2610 යටතේ ශ්‍රී සම්බජී චත්‍රපතී ගැටලු තුනක් ඉදිරිපත් කරනවා.
  1. ඇමරිකානු මාධ්‍ය ආයතන කිහිපයක් ඔස්සේ ප්‍රචාරය කරන ආදම් පාලම හෝ රාම් සේතු නමින් හඳුන්වන මන්නාරම් බොක්ක සහ පොක් සමුද්‍ර සන්ධිය වෙන් කරන පිහිටීම මනුශ්‍යන් අතින් ඉදිවූවක් යන ප්‍රචාරය පිලිබඳව ඉන්දීය රජය දැනුවත්ද ?
  2. ඉන්දියානු රජය විසින් පෙරකී පිහිටීම සම්බන්දව කරුණු එකලස් කිරීම සඳහා පර්යේෂණ කිරීමට බලාපොරොත්තුවක්/ සූදානමක් තිබෙනවාද ?
  3. එසේනම් ඒවායේ තොරතුරු මොනවාද ?


පිලිතුරු ලබාදෙන්නෙ විද්‍යාව හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය හර්ශ් වර්ධන්
  1. පතල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ කාර්යංශය (Geological survey of India) සමාජ මාධ්‍ය ජාල තුල සංසරණය වන එයාකාර ප්‍රවෘත්තිය ගැන දැනුවත්.
  2. භූ විද්‍යා සමීක්ෂණ කාර්යංශයේ සාගර හා වෙරළ සමීක්ෂණ ඒකකය විසින් මේ වන විටත් මන්දාපම්, රාමේශ්වරම්, දනුශ්කොඩි, සහ ආදම් පාලම දූපත් ආශ්‍රිතව 2003 - 2004 සහ 2004 - 2005 වර්ශයන් වලදී පර්යේෂණ සිදු කර ඇති අතර එකී පර්යේෂණ වලින් සොයාගත් කරුණු අනුසාරයෙන්;
  • (1) රාමේස්වරම් යනු වසර 125,000 පැරණි 27 km දිගු කොරල් පර දූපතක් බව (කොරල් දූපතක් කියන්නෙ මියගිය කොරල් පර ආශ්‍රිතව ඇතිවන දූපත්)
  • (2) ඉන්දීය සාගර සීමාව තුල වැලිපර දූපත් පහක් පිහිටන අතර ඉතා සිනිඳු සහ ඊට මදක් මැදි ප්‍රමාණයේ වැල්ලකින් සහ සිප්පි ආශ්‍රයෙන් මේ දූපත් නිර්මාණය වී ඇති බව.
  • (3) ධනුෂ්කොඩි දූපත මීටර් 205 ගැඹුරට හාරා නිරීක්ෂණය කල බවත්, එකී නිරීක්ෂණය තුල වසර මිලියන 5 භූ යුග ස්ථරායනය අනුසාරයෙන් ප්‍රතිනිර්මාණය කල බවත්.
  • (4) වර්තමානයේදි ආදම් පාලම ආශ්‍රිත ගැඹුර මීටර් 2 -7 ත් අතර බවත්, ගැඹුරට හාරා ලබාගත් සාම්පල කාබන් 14 කාල නීර්ණය අනුව අදින් වසර 20000 පෙර මුහුදු මට්ටම වර්තමාන මුහුදු මට්ටමට වඩා මීටර 118 පහල තිබු බවත්, මීට වසර 10000 කට පෙර එය අදට වඩා මීටර 60 පහලට තිබු බවත් , මීට වසර 6000 කට ප්‍රථම එය මීටර 17 පහලින් තිබු බවත් එකී කාල වලදි ලංකාව සහ ඉන්දියාව විශාල භූමි ප්‍රමාණයකින් ගොඩබිමින් සමබ්නදව තිබු බවත්.
  • (5) ධනුෂ්කොඩි සහ ආදම් පාලම අතර සිදුකල පර්යේෂණ තුලදි වර්තමාන ගොඩබිම් මට්ටම, මුහුදු පතුල සහ ගැඹුරට හාරා සිදු කල පර්යේෂණ කිසිවකින් ""මිනිසුන් විසින් නිර්මාණය කල කිසිවක් පිලිබඳ සාක්ශි කිසිවක් නොලැබුනු බවත්"" 


එකී පර්යේෂණ වාර්තා තොරතුරු ජනගත කිරීම සඳහා වර්තමානයේදි අවසර නැති බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අංක SLP(c) No: 20758/2005 යටතේ ගොනුකර ඇති නඩුවට අගතියක් සිදුවන බැවින් දැනට එය ජනගත නොකරන බවත්.

===================


දැන් මේ දීලා තියෙන තොරතුර විතරක් මම විශේෂයෙන්ම තෝරාගත්තෙ ලංකාවට වඩා රාම රාවණා ගැන විශ්වාස කරන මිනිස්සු ඉන්න ඉන්දියාවෙ මේ සම්බන්දව දරන විද්‍යාත්මක සාක්ශි ඔබ හමුවේ තැබීමට. මේ පිලිබඳව ලංකාවේ වියතුන් කල ශාස්ත්‍රීය ප්‍රකාශනත් තිබෙන නමුත් ඒවා ඉදිරිපත් කරොත් විවිධ විශ්වාස (ඉතිහාසයකට ගරහනවා) වගේ චෝදනාත් එන්න පුළුවන් නිසයි මේ තොරතුරු මුලින් ඉදිරිපත් කලේ.

ඉහත පිලිතුරු වලින් සනාථ වෙනවා ඇති මීට දින කිහිපයකට කලින් ග්ලැසියර් අවධි ගැන මම ඉදිරිපත් කල සටහනේ මුහුදු මට්ටම් පහල බැසීම ගැන තත්වය ගැන. මීට වසර 20000 කලින් මීටර් 118 පහතින් තිබුනෙ මුහුද අදට වඩා. මීටර් 118 කියන්නෙ අඩි 354 පමණ. මේ වැලිපර ගොඩ නැගෙන්නෙ මුහුදු රළ සහ භූ විෂමතාව සමඟ එකතුවුන සාධක නිසා මිසක් කවුරුන් හෝ ඉදිකල නිසා නෙමෙයි. තම තමන්ගෙ මාධ්‍ය ආයතන වල ප්‍රසිද්ධිය සඳහා විද්‍යාඥයන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් යොදාගෙන වාර්තා වැඩ සටහන් එහෙම නිර්මාණය කරන එක අද ඊයේ ඉඳන් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා හැමතිස්සෙම මූලාශ්‍ර හොයන් යන්න. නැත්තන් හොඳ ලණු, ගොතපු බොරු වලට අහුවෙන්න සිදුවෙන්නෙ.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




No comments:

Post a Comment