Sunday, October 20, 2019

පැන්තර්ස් (Panthers)


'පැන්තර්' කියන නම බොහෝ දෙනෙක් අසා ඇති. නමුත් මේ පැන්තර් කියන නමත් එක්ක පැටලිලි තිබෙන නිසා සහ විශේෂයෙන්ම ලංකාවේ ජනමාධ්‍ය පසුගිය කාලය පුරාවට වැරදි පුවත් පල කරපු නිසා 'පැන්තර්' සංසිද්ධිය පැහැදිලි කරන්න මේ සටහන ලියන්නෙ.

සාමාන්‍යයෙන් පැන්තර් කියන්නෙ කළු පැහැති විශාල බිළාලයෙක්. නමුත් පැන්තර් යෙදීම අනන්‍ය වෙන්නෙ පැන්තෙරා (Panthera) ගනයට අයත් සත්වයන්ගෙ කළු පැහැති රූපානුදර්ශයට.

අපි එතනින් එහාට යන්න කලින් පැහැදිලි කරගමු පැන්තෙරා ගනය කියන්නෙ කුමක්ද කියලා. පැන්තෙරා ගනයට අයත් සත්ව විශේෂ පහක් සිටිනවා.
  1. ව්‍යාඝ්‍රයා (Panthera tigris)
  2. හිම කොටියා (Panthera uncia)
  3. ජගුවාර් (Panthera onca)
  4. සිංහයා (Panthera leo)
  5. කොටියා (Panthera pardus)

මේ ඉහත සඳහන් විශේෂ පහ තමයි පැන්තෙරා ගනයට අයත් විශේෂ. මේ අයවම අපි තවත් විදිහකින් හඳුන්වනවා Big cats කියලා. වසර කිහිපයකට කලින් මේ බිග් කැට්ස් කියලා හඳුන්වන්න නිර්ණායකය ලෙස භාවිතා කරේ ඝර්ජනා කිරීමේ හැකියාව. ඝර්ජන හැකියාව ලැබෙන්නෙ කණ්ඨිකා අස්ථියේ (Hyoid bone) විශේෂිත පිහිටීමක් නිසා. නමුත් පෙරකී සත්වයින් අතරින් හිම කොටි විශේෂයට මේ ඝර්ජනා කිරීමේ හැකියාව නෑ. හැබැයි ජානමය ලක්ෂණ වලින් හිම කොටියන් වඩාත් ලඟ පැන්තෙරාවුන්ට නිසා ඔවුන්වත් පැන්තෙරා විශේෂයක් ලෙස තමයි හඳුන්වන්නේ. මේ වෙද්දි නව පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ඝර්ජන හැකියාව පදනම් වෙන්නෙ කණ්ඨිකා අස්ථිය අනුව නෙවෙයි ස්වරාල(larynx) පිහිටීම මත කියලා. දැන් එතකොට මෙහෙම මතක තියාගත්තම හරි. පැන්තෙරා කියන්නෙ මේ විශේෂ පහට, බිග් කැට්ස් කියන්නෙත් මේ පහට, නමුත් ඝර්ජන හැකියාව තියෙන්නෙ හිම කොටියා ඇරෙන්න ඉතුරු විශේෂ හතරට. පැහැදිලි ඇති කියලා හිතනවා.

දැන් පැන්තෙරාලා ගැන එහෙම තියෙද්දි එමු ආයේ 'පැන්තර්' පදයට. මුලින් සඳහන් කලා වගේ පැන්තර් කියන්නෙ මේ බිග් කැට්ස්ලා පහේ කළු රූපානුදර්ශය වලට. ඔබ දන්නවා සිංහයගෙ, කොටියගෙ, ව්‍යාඝ්‍රයගෙ , ජගුවරයන්ගෙ පාට. හිම කොටින්වත් දැකලා ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් මේ සත්ව විශේෂ වලට අනන්‍ය පාටවල් තියෙනවා. නමුත් ඉතාමත් දුර්ලභ ජානමය හේතුවක් නිසා මේ සත්වයින් අතරින් උපදිනවා තනි කළු නිදර්ශක. මේ සංසිද්ධියට කියන්නෙ මෙලනිස්ටික් රූපානුදර්ශ කියලා. මේකට හේතු වෙන්නෙ මෙලනින් අධික වීම. 

පාට කළු වුනාට මේ සත්වයන් වෙනම විශේෂයක් වෙන්නෙ නෑ. කළු ජගුවරයෙක් කියන්නෙ ජගුවරයෙක්ම තමයි. කළු කොටියෙක් කියන්නෙ කොටියෙක්ම තමයි. එකම වෙනස ඔවුන් සම්පූර්ණයෙන් කළු වීම. වසර කිහිපයකට කලින් වරක් සිංහරාජයේ මද්දකට අසුව කළු කොටියෙක් මිය ගිහින් තිබුනා. මේක ජනමාධ්‍යවල එහෙම ගියේ නව විශේෂයක් කියලා. නමුත් ඒක වැරදී. ඒ හිටියෙත් කොටියම තමයි. නමුත් අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක්. ආර්. එල්. ස්පිට්ල් මහත්මයා ලියපු සුදු ගෝනා නව කථාව ඔබට මතකනන් හාන්ස්ගෙ වන මිතුරෙකු වන දීයා නැමැති කොටි දෙන කළු රූපානුදර්ශයක් බවට මේ සටහන කියවද්දි ඔබට මතක් වෙයි. ස්පිට්ල් තමන්ගෙ කතා පදනම් කරගන්නේ නිල්ගල වැනි දඩබිම් පදනම් කරගෙන. නිල්ගල අවට පර්යේෂණ කිහිපයකටම සහභාගි වු මට ඒ අවට ආදිවාසී ප්‍රවාද වල එන කළු කොටින් ගැන අහන්නට ලැබුනා. ඒ අනුව යම් කාලයකදි නිල්ගල වනයන් තුල කොටින්ගෙ කළු රූපානුදර්ශය සහිත ජාන ප්‍රමුඛව පැවති බවට අනුමාන කරන්න පුළුවන්. අවාසනාවකට නිල්ගල වනබිම් අද සීඝ්‍රලෙස අපට අහිමි වෙමින් යනවා.

ආයෙත් ආවොත් පැන්තර් කතාවට දැන් මේ කළු රූපානුදර්ශ දුරින් බැලුවම පේන්නෙ තද කළු පැහැයට. මේ සත්වයින්ගෙ කළු ජගුවාර් සත්වයෙක් දෙහිවල ජාතික වනෝද්‍යානය තුලත් ඉන්නවා. මේ සත්වයින්ගෙ ලඟටම ගියොත් නිරීක්ෂණය කරන්න පුළුවන් කළු පැහැති වුනාට සාමාන්‍ය සත්වයෙකුගෙ තියෙන රොසේට් (පුල්ලි රටාවන්) කළු පැහැට යටින් දකින්න පුළුවන් බව. 

දැන් මේ පහත පලමු ඡායාරූපයේ තියෙන්නෙ මම ප්‍රාග් හී නරෝද්නි කෞතුකාගාරය තුල නිරීක්ෂණය කරපු කොටියෙකුගෙ මෙලනිස්ටික් නිදර්ශකයක්. ලඟට බැලුවම රොසේට් පැටර්න් එක ඉතාමත් පැහැදිලියි.

කොටියෙකුගෙ මෙලනිස්ටික් නිදර්ශකයක්

දෙවන සහ තෙවන ඡායාරූප වල තියෙන්නෙ මම බර්ලින් ස්වභාව විද්‍යා කෞතුකාගාර වලදි නිරීක්ෂණය කරපු ජගුවාර් නිදර්ශක දෙකක්. පලමු එකේ සාමාන්‍ය පුල්ලි රටාව, දෙවන ජගුවාර් මෙලනිස්ටික් නිදර්ශකයක්. නමුත එහිත් රොසේට් රටාවන් දකින්න පුළුවන් කළු වුනාට.

ජගුවාර් සාමාන්‍ය පුල්ලි රටාවෙහි නිදර්ශකයක්
ජගුවාර් මෙලනිස්ටික් නිදර්ශකයක්

දැන් ඔබට පැහැදිලි ඇති 'පැන්තර්', 'බ්ලැක් පැන්තර්' වගේ නම් වලින් හඳුන්වන වෙනම විශේෂ නැති බව. ඒ සිටින්නෙත් බිග් කැට්ස් පවුලෙ යම් විශේෂයක කළු නිදර්ශකය. ඉදිරියේදි මාධ්‍ය වලින් එහෙම බොරු තොරතුරු ඉදිරිපත් වුනොත් ඔබ දන්නවා ඒ ඉන්නෙ කුමන සත්වයෙක්ද කියලා.


(නිදර්ශකයන්හි ඡායාරූප අයිතිය #DOE සතු වේ)



#DOE




No comments:

Post a Comment