ඩයිනෝසරයන්ගෙ අවධීන් ලෙස හඳුන්වන්නේ ට්‍රියැසික් , ජුරැසික් සහ ක්‍රිටැසියස් අවධීන්. මේ අවධීන් ආරම්භ වීමට ප්‍රථම පෘථිවිය තුල ගෙවී යන්නෙ පර්මියානු අවධිය. පර්මීයානු අවධිය තුලදි ලෝකයේ සියළු ගොඩබිම් පැවතුනේ තනි මහද්වීපයක් ලෙස. මේ තනි මහද්වීපය අප හඳුන්වනවා පැන්ජියා මහද්වීපය ලෙස. පැන්ජියා මහද්වීපය කැබලි වලට කැඩීම ඇරඹෙන්නෙ මීට වසර මිලියන 175 කට පමණ පෙර ජුරැසික් අවධියේ මධ්‍ය කොටසෙදි.
ට්‍රිැයසික් යුගයෙදි තමයි ඩයිනෝසරයන් බිහිවී පැතිරීම සිදුවන්නෙ. නමුත් ට්‍රියැසිකයට ප්‍රථම තිබු පර්මියානු අවධිය කියන්නෙ ඉතාමත් වෙනස් පාථෘවියක්. පර්මියානු පෘථෘවිය තුල විසු ගහකොල, සත්ව විශේෂ ඉතාමත් වෙනස් සත්ව කාණ්ඩයන්. මේ පර්මියානු අවධිය තුල සිටි සත්ව කාණ්ඩ පර්මියානු නශ්ඨවීමත් සමඟ මිහිතලයෙන් සදාකාලිකවම නික්ම යනවා. මේ නශ්ඨවීමේ සංසිද්ධිය ෆොසිල විද්‍යාව තුල හඳුන්වන්නේ පර්මියන්-ට්‍රියැසික් මහා නශ්ඨවීම ලෙස.
දැන් මේ ඉහත කිව්ව ටික හොඳින් තේරුම්ගන්න කාල රාමුව පිලිබඳව අදහසක් ඔබට ලබා දෙන්නම්. ඔබ මුල සිටම පරිණාමික දිනපොත සමඟ රැඳී සිටියානම් මේ වන විට අවබෝධයක් තිබෙනවා ක්‍රිටැසියස් මහා නශ්ඨවීම ගැන. ඇස්ටරොයිඩයක් පැමිණ ඩයිනෝසරයන් ඇතුළු ජීවී විශේෂ මිහිතලය මතින් අතුගා දමන සිද්ධි දාමය තමයි අපි හඳුන්වන්නේ ක්‍රිටැසියස් නශ්ඨවීම ලෙස. ක්‍රිටැසියස් නශ්ඨවීම සිදුවන්නෙ අදින වසර මිලියන 65 කට පමණ පෙරදි. (වසර මිලියන කියන සංඛ්‍යාත්මක අගය ධාරණය කරගන්න, නැත්තන් මේක හුදෙක් සංඛ්‍යාවක් විදිහට කියවන් ගියාට තේරුම්ගන්න අමාරුයි. වසර 100, 1000, 10000, 100000 ආදි ගොස් වසර මිලියනයක් කියන්නෙ කොපමණ ඈත කාල වකවානුවක්ද යන්න සිතන්න)
ක්‍රිටැසියස් නශ්ඨවීම් සිදුවන්නෙ පෙර පැවසු පරිදි වසර මිලියන 65 කට ප්‍රථම. නමුත් මා මේ සඳහන් කරන පර්මියන්-ට්‍රියැසික් මහා නශ්ඨ වීම සිදුවන්නෙ 'වසර මිලියන 250 කට පෙර'. ක්‍රිටැසියස් නශ්ඨවීමේදි (ඒ කියන්නෙ ඩයිනෝසරයන් විනාශ වුන නශ්ඨවීමේදි) පෘථිවියේ සමස්ථ ජීවයෙන් 70% පමණ සහමුලින්ම විනාශව ගියා. නමුත් එතරම් විනාශයක් සිදුවුන ක්‍රිටැසියස් නශ්ඨවීම නෙවෙයි පාථිවි ජීවය මුහුණ දුන් අඳුරුතම කාලපරිච්ඡේදය ලෙස සටහන් වෙන්නෙ. එසේ පෘථෘවි ජීවය මුහුණ දුන් අඳුරුතම කාලපරිච්ඡේදය වන්නෙ පර්මියන්-ට්‍රියැසික් මහා නශ්ඨවීම් දාමය. මේ සිද්ධිය කොතරම් බරපතලද කිව්වොත් සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පවතින එකම ග්‍රහලෝකය වන පෘථිවිය ජීවයෙන් තොර වීමට ඉතාමත් ආසන්න වෙනවා. ප්‍රතිශතයක් වශයෙන් ගත්තම පෘථිවි ජීවයෙන් 90% සහමුලින්ම විනාශව යනවා මේ නශ්ඨවීම් සිද්ධි දාමයෙන්. විශේෂ ලක්ෂ ගනනක්, ගනයන් ලක්ෂ ගනනක් පෘථිවිය තුලින් සදහටම නික්ම යනවා පර්මියන් අවධිය අවසාන වෙත්ම. ජීවයෙන් පිරී පැවති නිල් ග්‍රහයා පර්මියන් අවධිය අවසාන වන විට අහුමුලු වලට පමණක් තල්ලු වු ජීවී කාණ්ඩ අතලොස්සකින් තමයි නැවතත් සිය ජීවයේ ගමන ආරම්භ කරන්නෙ.
පර්මියන් මහා නශ්ඨවීම සිදුවුනෙ කොහොමද, එපමණක් ජීවය වැනසී යන්න හේතු මොනවාද කියන විග්‍රහ ටිකක් සංකීර්ණ කතාවක්. පැන්ජියාවේ දේශගුණික විපර්යාස, පැන්ජියානු භු විෂමතාවන්, මහද්වීප ප්ලාවිතයේ සිද්ධාන්ත, සාගර ජීවයේ නශ්ඨවීම ආදි කරුණු ගොන්නක් වෙන වෙනම විස්තර කරන්න වෙන නිසයි මේ කතාව සංකීර්ණයි කිව්වේ. ඒ ගැන ඉදිරියේදි ලිපි මාලාවකින් හෝ පොතකින් ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
මීට මාස කිහිපයකට පෙර පොරොන්දු වුන පරිදි මේ කතාවේ ප්‍රවිශ්ඨය ලබා ගත්තෙ පර්මියානු ජීවය පිළිබඳව ආරම්භයක් ලබා ගන්න. පර්මියානු ජීවයේ ඉතාමත් විශේෂිත සත්ව කොට්ඨාසයක් තමයි තෙරැප්සිඩාවන්. තෙරැප්සිඩාවන් අපට විශේෂ වන්නෙ පර්මියානු නශ්ඨවීමෙන් දිවි ගලවාගන්න තෙරැප්සිඩාවන් කොටසක් තමයි පසුව මම, ඔබ, ඔබේ නිවසේ සිටින සුනඛයන්, බළලුන් ආදී සියළු ක්ශිරපායින්ගේ පූර්වජයන් වෙන්නෙ. මේ පර්මියන් නශ්ඨවීමේන් තවත් සත්වයන් කොටසක් දිවි රැකගන්නවා. ඔවුන්ව අප හඳුන්වනවා ඩයැප්සිඩාවන් ලෙස. ඩයැප්සිඩාවන් තමයි පසුව ඩයිනෝසරයන්, උරගයන්, සර්පයන්, පක්ශීන් බවට පරිණාමය වන්නෙ.
මේ ලිපියෙදි කතා කරන්නෙ තෙරැප්සිඩාවන් ගනයක් ගැන. ඔවුන් තමයි එස්ටෙම්මෙනොසූකස් ගනය. එස්ටෙම්මෙනෝසුකස්ලා ජීවත් වන්නෙ මධ්‍ය පර්මියානු අවධියේදි. වසර මිලියන 267 පමණ පෙර තමයි මේ සත්වයන් ජීවත් වන්නෙ. දැනට හඳුනාගෙන තිබෙනවා විශේෂ ද්විත්වයක්;
- Estemmenosuchus uralensis
- Estemmenosuchus mirabilis
මේ විශේෂ ද්විත්වයේම ෆොසිල ලැබෙන්නෙ වැඩි වශයෙන් රුසියානු ප්‍රදේශයෙන්. අඩි දහයක පමණ විශාලත්වයකින් වැඩෙන මේ සත්වයන්ගෙ හිස්කබල ඉතාමත් සුවිශේෂී හැඩයක් ගන්නවා. මූස් මුවන්ගෙ අංතට්ටුවේ කොටස් වැනි කපාල නෙරීම් මේ කපාලය මත දැකගන්න පුළුවන්. මේ සුවිශේෂී පිහිටීම ප්‍රදර්ශනාත්මක පණිවිඩ හුවමාරු මාධ්‍යක් ලෙස භාවිතා කරන්නට ඇති බවයි ෆොසිල විද්‍යාඤයන් විශ්වාස කරන්නෙ. මොණරුන් පිල් විදහන්නාක් මෙන්, දික්ව වැඩුනු අං ප්‍රදර්ශනාත්මක ලෙස මුවන් දක්වන්නාක් මෙන් එස්ටෙම්මෙනෝසුකස්ලාත් සිය අං වැනි කපාල නෙරීම් භාවිතා කල බවයි සඳහන් වෙන්නෙ.
1968 දි ලැබෙන එස්ටෙම්මෙනෝසුකස් චර්ම ෆොසිල කොටසක් අධ්‍යනය කිරීමේන් පසු විද්‍යාඤයන් ප්‍රකාශ කරන්නෙ ඔවුන්ගෙ හම ක්ශීරපායින්ට සමාන හමක් වන්නට ඇති බවයි. එස්ටෙම්මෙනෝසුකස්ලා සර්වභක්ෂකද නැත්නම් මාංශභක්ෂකද යන්නට දැඩි විවාද පවතිනවා.
කෙසේ නමුත් පර්මියන් නශ්ඨවීමෙන් දිවි ගලවාගන්න ක්ශිරපායින්ගෙ පූර්වජයාට නෑ සබඳකම් තිබු මේ සත්වයන් පර්මියන් නශ්ඨවීමත් සමඟම මිහිමතින් පහව යනවා.
එස්ටෙම්මෙනෝසුකස් ප්‍රතිනිර්මාණ |
1968 දි ලැබෙන එස්ටෙම්මෙනෝසුකස් චර්ම ෆොසිල කොටසක් අධ්‍යනය කිරීමේන් පසු විද්‍යාඤයන් ප්‍රකාශ කරන්නෙ ඔවුන්ගෙ හම ක්ශීරපායින්ට සමාන හමක් වන්නට ඇති බවයි. එස්ටෙම්මෙනෝසුකස්ලා සර්වභක්ෂකද නැත්නම් මාංශභක්ෂකද යන්නට දැඩි විවාද පවතිනවා.
එස්ටෙම්මෙනෝසුකස් ෆොසිලයක් |
කෙසේ නමුත් පර්මියන් නශ්ඨවීමෙන් දිවි ගලවාගන්න ක්ශිරපායින්ගෙ පූර්වජයාට නෑ සබඳකම් තිබු මේ සත්වයන් පර්මියන් නශ්ඨවීමත් සමඟම මිහිමතින් පහව යනවා.
(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment