Sunday, November 3, 2019

අලිපේර සහ යෝධ මන්දයන් (Avocado and giant Sloths)


ඇතැම් සත්ව හා ශාඛ විශේෂ තිබෙනවා වර්තමානයේදි සජීවීව දැක ගැනීමට පුළුවන් වුනත් ඔවුන් සැබැවින්ම අයත් වන්නෙ ඉතිහාසයට. යම්කිසි දුර්ලභ සංසිද්ධියක් හේතුවෙන් නශ්ඨවීමට ආසන්නව තිබියදි ඔවුන්ගෙ පැවැත්ම තහවුරු වී වර්තමානය දක්වා ඔවුන් පැමිණ තිබෙනවා. අලිපේර/අලිගැටපේර නමින් සිංහලෙන් හඳුන්වන ශාඛයත් එවැනි විශේෂයක්.

අලිපේර/අලිගැටපේර

ඔබ දන්නවා ඇති බොහෝ ශාඛ විශේෂ පරාගන කෘත්‍ය, බීජ ප්‍රරෝහනය ආදී ක්‍රියාවලි සඳහා ඇතැම් සත්ව විශේෂ මත යැපෙන බව. අලිගැටපේර ශාඛයත් මීට වසර මිලියන ගනනකට පෙර පරිණාමය වන්නෙ බීජ ප්‍රරෝහනය සඳහා සත්වයන් මත යැපෙන ශාඛයක් ලෙස. අලිගැටපේර ශාඛයක බීජ මව් ශාඛය යට වැටීමෙන් හටගන්නා පැල වැඩ කාලයක් පවතින්නේ නෑ. ඒ මව් ශාඛය සමඟ සූර්යාලෝකය හා වෙනත් අවශ්‍යතාවන් සඳහා තරඟ කිරීමට සිදුවෙන නිසා. මේ ගැටලුව මඟහරවා ගැනීමට අලිගැටපේර ශාඛ පරිණාමිකව අනුවර්තනය වෙන්නෙ ඉතාමත් රසවත්, සතුන් ආහාරයට ගැනීමට කැමති, මාංසල ආවරණයක් සහිත බීජයක් ලෙස. සත්වයෙක් ආහාරයට ගැනීමෙන් පසු ආහාර ජීර්ණ පද්ධතිය තුලින් ගමන්කර වසුරු සමඟ පිටතට පැමිණීමෙන් පසු තමයි මව් ශාඛයට ඈතින් ප්‍රරෝහනය වීම සඳහා මඟ සලසා ගන්නෙ. නමුත් මෙතනදි පවතින ගැටලුව තමයි අලිපේර බීජය ඉතාමත් විශාල වීම. ඒ නිසාම මේ අලිපේර ශාඛය ආහාරයට අරන් දිරවීමට කුඩා ප්‍රමාණයේ සත්වයින්ට හැකියාවක් නෑ. නමුත් ප්‍ලයෝසීනයේ සිට ප්ලයස්ටොසීනය දක්වා ජීවත් වු සත්ව සන්තතිය ප්‍රමාණයෙන් විශාලයි. අලිපේර ශාඛය සිය පැවැත්ම සඳහා යැපෙන්නෙ මේ යෝධ සත්වයන්ගෙන්.

යෝධ මන්දයන් (Giant sloths) ගැන මීට පෙර පරිණාමික දිනපොත තුලින් සටහන් ඉදිරිපත් කර තිබෙනවා. වර්තමානයේදි ජීවත්වන මන්දයන් (sloth) (විශේෂ 6 වර්තමානයේදි ජීවත් වෙනවා) කුඩා ප්‍රමාණයේ සත්වයන්. ඔවුන් ඉතාමත් මන්දගාමී මෙන්ම රුක්වාසී විශේෂ.

වර්තමානයේදි ජීවත්වන මන්ද විශේෂයක් 

නමුත් ප්ලයෝසීනයේ සිට ප්ලයස්ටොසීනය දක්වා ජීවත් වූ මේ වර්තමාන රුක්වාසී මන්දයන්ගෙ පූර්වජයන් වචනයේ පරිසමාප්තියෙන්ම යෝධයන්. ටොන් 4 පමණ බරින් සහ දිගින් අඩි පහලවක් පමණ වැඩෙන ලෙස්ටඩොන්, මෙගාතීරියම්, එරීමෝතීරියම් වැනි මන්ද ගනයන් එකල උතුරු සහ දකුණු අමරිකානු කලාපය පුරාම පැතිරී සිටියා. ඒ වගේම ඔවුන් බිම්වාසී විශේෂ.

ලෙස්ටඩෝන් සැකිල්ලක් 
මෙගාතිරීයම් ප්‍රතිනිර්මාණයක් 
එරිමෝතිරියම් ප්‍රමාණාත්මක සංසන්දනයක් 

මීට අමතරව මේ මන්ද විශේෂ විශාල විවිධත්වයක් පෙන්නුම් කරමින් ජලචර විශේෂ, පොළව තුල ගුල් හාරා ජීවත්වන විශේෂ ලෙස පැතිරී සිටියා. මේ අතරින් ලෙස්ටඩොන් ගනය මත තමයි අලිපේර ශාඛය වැඩිවශයෙන් යැපී තිබෙන්නෙ. මේ යෝධ සත්වයන් අලිපේර වලට දක්වන ලොල් බව නිසාම උතුරු දකුණු ඇමරිකානු කලාප තුල අලිපේර පැතිරීම සිදුවෙනවා. වරක් ආහාර ගැනීමෙන් පසු කිලෝමීටර ගනනාවක් ඇවිද යන මේ සත්වයන්ගෙ ආහාර ජීරණ පද්ධති තුල ගමන නිම කරන අලිපේර බීජ මව් ශාඛයට ඉතාමත් ඈතින් ප්‍රරෝහනය සිදුවෙනවා. මේ නිසා අලිපේර ශාඛයේ පැවැත්ම ,පැතිරීම සමස්ථ වශයෙන්ම යැපෙන්නෙ මේ යෝධ ප්‍රාග්ඓතිහාසික සත්ව සන්තතිය මත.

වසර 16000 කට පමණ පෙර උතුරු ඇමරිකානු බෙරින්ගියන් ගොඩබිම මඟින් ඇමරිකානු කලාප තුලට ආසියාවෙන් පැමිණෙන හෝමෝ සේපියන්වරු පෙර පැවසු යෝධ සත්ව සන්තතියේ අභාවයට එක් ප්‍රධාන හේතුවක් ලෙස ක්‍රියාත්මක වෙනවා. අදින් වසර 12000 පමණ පෙරදි ප්ලයස්ටොසීන සත්ව සන්තතිය නශ්ඨවීම සිදවෙනවා. ඒත් සමඟම අලිපේර ශාඛය මුහුණ දෙන්නෙ පැවැත්ම සම්බන්ද ගැටලුවකට. තමන්ගෙ පැවැත්ම සඳහා සෘජු දායකත්වයක් සැපයු සත්ව ප්‍රජාව දැන් නශ්ඨව ගොස්. පරිණාමක අර්ථයෙන් ගත්තම මේ ලියවිලා තියෙන්නෙ අලිගැටපේර ශාඛයේ පෘථිවියේ අවසන් පරිඡ්ඡේදය. නමුත් මේ අපූරු ශාඛයට හෝමෝ සේපියන්වරු ආකර්ශනය වෙනවා. රසවත් මෙන්ම ගුණවත් මේ ශාඛයේ වන නිදර්ශක සේපියන්වරු විසින් ගෘහස්තකරණය කරනවා.

මීසෝඅමරිකානු සංස්කෘතියට අයත් කොක්සකැට්ලන් ගුහාවෙන් තමයි ආදීතම අලිපේර භාවිතය පිළිබඳව සාධක හමුවන්නෙ. ඒ අදින් වසර 10000 පෙර. 15 වන සියවසේදි තමයි අලිපේර ගැන පළමු ලිඛිත වාර්තාව යුරෝපයෙන් ලැබෙන්නෙ. ඒ මාර්ටින් ෆර්නෑන්දේස් දි එන්සිස්කොගෙ වාර්තාවක. ප්‍රථම විග්‍රහය ලැබෙන්නෙ 1526 දි ගොන්සාලෝ ෆර්නෑන්දෙස් දි ඔවියේදෝ යී වැල්දේස් ගේ ප්‍රකාශනයක. 1601 දි ස්පාඤ්ඤටත්, 1750 දි ඉන්දුනිසියාව අවටත්, 1780 දි මුරුසියටත් ආදී වශයෙන් අලිපේර හඳුන්වාදීම සිදුවෙනවා.

ප්ලයස්ටොසීන සත්ව සන්තතියේ අභාවයෙන් පසු ක්‍රමයෙන් පැතිරීමෙන් පසුබසින මේ අපූරු ශාඛය දකුණු අමරිකානු නිම්න කිහිපයකට සීමාවී සිය අවසන් පරිඡ්ඡේදය ගත කරන විට සේපියානුවන් එය නොදුටුවා නම් අද අලිගැටපේර රහ ගැන අපට දැනගැනීමට විදිහක් නෑ. මීලඟ වතාවේදි අලිගැටපේර ගෙඩියක් සුද්ද කරද්දි මැද තිබෙන විශාල බීජය පරිණාමය වී ඇත්තෙ යෝධ මන්දයන්ගෙ ආහාර ජීර්ණ පද්ධතිය තුල දීර්ඝ ගමනක් යෑමට බව මතක් වෙයි.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


No comments:

Post a Comment