අගෝස්තු 12 වන දිනය පාරිසරික දින දර්ශකය තුල වෙන් කරලා තියෙන්නෙ අලින් වෙනුවෙන්. ජාත්‍යන්තර හස්ථි දිනය. විවිධ ප්‍රාග්ඓතිහාසික යුග තුල ජීවත් වුන මේ අපූරු සත්ව කොට්ඨාසයට අයත් හස්ථි විශේෂ ගනනාවක් ගැනම පරිණාමික දිනපොත තුල පරිච්ඡේද වෙන් කරලා තියෙනවා. අද දිනයෙත් ඔවුන්ගෙ එක් විශේෂයක් ගැන කෙටි සටහනක් ඔබ වෙනුවෙන්.
අදින් වසර මිලියන 17 කට පමණ පෙර මයෝසීන යුගය තුල අප්‍රිකාව,ආසියාව, උතුරු ඇමරිකාව සහ යුරෝපය යන මහද්වීප සියල්ල තුලම පැතිරී සිටි සයිගොලොෆොඩොන් ගනය එතෙක් මෙතෙක් ජීවත් වු භෞමික වාසී ක්ශිරපායින් අතර විශාලතමයෙක්. උසින් මීටර හතරක් පමණ සහ බරින් ටොන් 15 ක් පමණ විශාල මේ හස්ථීන් ඉතාමත් දිගු දල යුගල වලට හිමිකම් කියුවන්. මේ ගනය තුල විශේෂ ගනනාවක් හඳුනාගෙන තිබෙනවා.
Zygolophodon gobiensis
Zygolophodon lufengensis
Zygolophodon chinjiensis
Zygolophodon borsoni
සයිගොලොෆොඩොන් අයත් වන්නෙ මැමුටිඩේ කියන කුලයට. මැමුටිඩේ කුලය ගැනත් යමක් මේ එක්කම සඳහන් කරන්න ඕන. මැමුටිඩේ කියන නම හැදෙන්නෙ මැමත් කියන නමෙන්. නමුත් ඇත්තටම ෆොසිල විද්‍යාවේ මුල් කාලයේදි මැමත් කියලා හඳුනාගන්නෙ අපි කවුරුත් දන්න වූලී මැමත් නෙමෙයි මැස්ටඩොන් හස්ථින්ව. සිත්ගන්නාසුළු කාරණය තමයි වූලී මැමත්ලා ඇත්තටම අයත් වන්නෙ මැමුටිඩේ කුලයට නෙමෙයි. ඔවුන් අයත් වන්නෙ වර්තමානයේදි ජීවත්වන හස්ථි විශේෂ ත්‍රිත්වය (L.cyclotis, L.africana සහ E.maximus ) අයත්වන එලිෆන්ටිඩේ කුලයට.
සයිගොලොෆොඩොන් ගනය ප්ලයෝසීන යුගය අවසානයේදි මිහිමතින් නශ්ඨව යනවා. මේ කාලය තුල පෘථෘවිය විශාල දේශගුණික විපර්යාස වලට බඳුන් වෙමින් ශීතල දේශගුණයකට අපගමනය වෙද්දි වන වැස්ම වෙනස් වීම ඇරඹෙනවා. වන වැස්මේ වෙනස කියන්නෙ මේ යෝධ සතුන් පුරුදුව සිටි ආහාර වෙනස් වීම. ඒත් එක්කම මේ කාලයේදි තමයි අප්‍රිකානු මහද්වීපයෙන් එලිෆන්ටිඩේ කුලය විකරණය වීම ඇරඹෙන්නෙ. එළඹෙන නව පරිඡ්ඡේදය සයිගොලොෆොඩොන් වැනි හස්ථි විශේෂ වලට එතරම් සුබදායි වන්නෙ නෑ. වන වැස්මේ වෙනසත් සමඟ අවම වන ආහාර හා නව තරඟකරුවන් පැමිණීම නිසා. මේ නව තරඟකරුවන අලුත් දේශගුණික රටාවන් වලට හුරුවු විශේෂ. ඔවුන් නව වන වැස්ම තමන්ගෙ ප්‍රයෝජනයට ගන්නවා. ඒත් සමඟම පරිණාමිය නැමැති දීර්ඝ කතාන්දරයේ සයිගොලොෆොඩොන් පරිඡ්ඡේදය අවසන් වෙනවා.
සයිගොලොෆොඩොන්ලා නොමැති වුනාට වර්තමානයේදි ඔවුන්ගෙ ඤාතීන් අපත් සමඟ ජීවත් වෙනවා. මේ කතාව ඇත්තටම බරක් සහිත කතාවක් වුනාට කොපමණ දුරකට මේ ගැන ශ්‍රී ලාංකියන් විදිහට අවබෝධය පවතිනවාද කියන එක සැකයක්. පරිණාමික දිනපොත පර්සනල් බ්ලොග් එකක් විදිහට කරගෙන යන නිසා මේ ලිපි වලට මගේ අත්දැකීම්, පෞද්ගලික මතයන් මම විටින් විට එකතු කරනවා. පාරිසරික ක්‍රියාකාරීත්වය සඳහා මගේ කාලයෙන් වැඩි කොටසක් වැය කරලා තියෙන්නෙ , ලියලා තියෙන්නෙ ලංකාවේ හස්ථීන් වෙනුවෙන්. මේ වටිනා සතුන් අප වැනි කුඩා දූපතකට ලැබී තිබීම වාසනාවක් නමුත් අදූරදර්ශි දේශපාලනය, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ තිබෙන දුර්වලතා සහ සාමාන්‍ය ජනතාව ලෙස මේ ගැටලු කෙරෙහි දක්වන උදාසීන ආකල්ප වැනි හේතු ගනනාවක් නිසා පෙර පැවසු වාසනාව ඉතාමත් අවාසනාවක් බවට පරිවර්තනය කරගෙන තිබෙනවා. ගහනයක පැවැත්ම රඳා පවතින්න උපත් හා මරණ අනුපාතියක අතර තුලිතතාව ඉතාමත් වැදගත්. නමුත් දැන් ලංකාව තුල පවතින මේ හස්ථි උපත් මරණ අනුපාතිකය අනුව ගනන් බැලුවාම 2050 පමණ වන විටදි මේ සත්වයන් වඳව යෑම අවදානම ඉතාමත් අදිකයි. ප්‍රාග්ඓතිහාසික යුග තුල ජීවත් වු සතුන් ගැන කතා කරන විට, ඒ සත්ව විශේෂ වල ප්‍රතිනිර්මාණ ඉදිරිපත් කරන විට අප මනසේ නිරායාසයෙන්ම ඇතිවන්නෙ විශ්මයක්. ඒත් සමඟ මේ සතුන් ඇත්තටම කොයි වගේ වෙන්නට ඇත්ද ? ජීවත්ව සිටියදි මොන වගේ හැසිරීම් පෙන්නන්න ඇතිද ? වැනි ගැටලු රාශියක් ඔබට මතුවෙනවා ඇති. උදාවන සියවස අගභාගයේදි ඔබ අද දකින මේ අපූරු සත්වයින් මතු පරම්පරාවන්ට දකින්න ලැබෙන්නෙ ප්‍රතිනිර්මාණ සහ වීඩියෝ දර්ශන තුලින් පමණයි.
මේ ගැටලු ගැන අධ්‍යනය කිරීම, දක්වන සැලකිල්ලට වඩා දශමයක හෝ උනන්දුවකින් තොරතුරු සොයා බලා දැනුවත් වීම, අවශ්‍ය විටදි හඬ නැගීම තුලින් යම් ආකාරයකට පෙරකී ප්‍රතිඵල වෙනස් කිරීමට ඔබට පුළුවන්. Elephas maximus maximus නැමැති උප විශේෂයේ අනාගතය තියෙන්නෙ අප ඉදිරි දස වසර තුල ගන්නා ක්‍රියාමාර්ග අනුව. Elephas maximus නැමැති විශේෂ නාමය සියළු ආසියානු අලින්ට ලැබුනට 1758 වර්ශයේදි ද්වීපද නාමකරණයේ පියා ලෙස හඳුන්වන කාර්ල් ලිනේයස් Elphas maximus නාමය මුලින්ම ලබා දෙන්නෙ ලංකාවේ නිදර්ශකයකට. ඒ නිසා තමයි E.m.indicus, E.m. borneensis, E.m sumatranus ආදී උප විශේෂ අතර Elephas maximux maximus යන ද්විත්ව maximus නාමය මේ රටේ ජීවත්වන විශේෂ වලට ලැබෙන්නෙ.
අලි ගැන දින ගනනාවක් කතා කරන්න දේවල් තියෙනවා නමුත් අනවශ්‍ය ලෙස මේ සටහන තවත් දීර්ඝ කල යුතු නැති නිසා අවසන් කරනවා. ඉතින් සයිගොලොෆොඩොන් වගේම අපේ රටේ ජීවත්වන මේ අපූරු, ඉතාමත් බුද්ධිමත් ජීවීන් ගැනත් කියවන්න. දැනුවත් කරන්න, දැනුවත් වෙන්න.
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment