Wednesday, September 4, 2019

සිම්බාකුබ්වා කුටොකෑෆ්‍රිකා (Simbakubwa kutokaafrika)


ඇතැම්විට නව විශේෂ සොයාගනු ලබන්නේ ක්ෂේත්‍ර ගවේෂණ තුලදීම නොවෙයි. ඇතැම් විශේෂ නිසායාකාරව හඳුනා නොගෙන කෞතුකාගාර නිදර්ශක එකතු තුල වසර ගනනාවක් නිසි අවධානය නොලැබී පවතිනවා. මේ වසරේ (2019) අප්‍රේල් 18 වන දිනත් එවන් නව සත්ව විශේෂයක් නම් කරනු ලැබුවා කෙන්යාවෙදි.

'සිම්බාකුබ්වා කුටොකෑෆ්‍රිකා' (Simbakubwa kutokaafrika) නැමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ විශේෂය මීට වසර මිලියන 22 පමණ පෙර මිහිමත සැරිසැරු විලෝපිකයෙක්. හිම වලසෙකුගෙ ප්‍රමාණයටත් වඩා විශාල සිරුරකින් හෙබි සත්වයෙක්. සිම්බාකුබ්වා නාමයේ තේරුම ස්වාහීලී බසින් 'විශාල සිංහයා' යන්නයි නමුත් මේ සත්වා සිංහයන්ට හෝ බිළාල කුලයේ සමාජිකයන්ට ඤාතීත්වයක් දක්වන සත්වයෙක් නොවෙයි. හයිනඩොන්ට්ස් (hyaenodonts) නැමැති සහමුලින්ම වඳව ගොස් ඇති කාණ්ඩයට අයත් සත්වයෙක්.

සිම්බාකුබ්වා ප්‍රතිනිර්මාණයක්, මිනිසකු සමඟ ප්‍රමාණාත්මක සංසන්දනය සහ ෆොසිලභවනය වූ හනු

අප්‍රිකා මහද්වීපය තුල පහලවල ප්‍රථම ක්ශිරපායි විලෝපික කාණ්ඩය තමයි මේ හයිනඩොන්ටාවුන්. ඩයිනෝසරයන්ගෙ පෘථිවි පරිඡ්ඡේදය අහවර වන විට වසර මිලියන 45 ක් පමණ අප්‍රිකා ගොඩබිම තුල අණසක පතුරවන්නෙ හයිනඩොන්ටාවන්. ඒ කාලය අතරතුර අප්‍රිකානු මහද්වීපය ක්‍රමයෙන් තල්ලු වෙමින් ගොස් උතුරු ගොඩබිම් සමඟ සම්බන්ධ වනවා. මේ සටහනේ කතානායක සිම්බාකුබ්වා ජීවත්වු සමයෙදි මෙලෙස සම්බන්ධ වන අප්‍රිකාව තුලට උතුරු මහද්වීප තුලින් නව සත්ව කණ්ඩායම් ඇතුල් වීම ඇරඹෙනවා. බිළාලයන්, හයිනාවන්, සුනඛ පවුලේ සාමාජිකයන් යුරේසියාවේ සිට අප්‍රිකාවට සංක්‍රමණය වන්නෙ මේ කාලයේදි. අප්‍රිකාව තුල සම්භවය වු හයිනඩොන්ටාවුන් මේ අතරෙදි උතුරට සංක්‍රමණය වනවා. යුරේසියාවට හයිනඩොන්ටාවුන් සංක්‍රමණය වන්නෙ එලෙසින්. කෙසේ නමුත් මීට වසර මිලියන 15 -18 පෙර කාළගුණ විපර්යාස හේතුවෙන් පරිසර පද්ධති වෙනස් වීම සිදුවෙනවා. මේ වෙනස්වීම හේතුවෙන් හයිනඩොන්ටාවන් මිහිමතින් නශ්ඨවීම් සිදුවෙනවා. සිම්බාකුබ්වා විශේෂයේ ඤාතීන් මේ අවසන් හයිනඩොන්ට් පෙලපතේ සාමාජිකයන්.

කෙසේ නමුත් සිම්බාකුබ්වා කුටොකෑෆ්‍රිකා විශේෂ සොයා ගැනීමත් සමඟ හයිනඩොන්ට පරිණාමික වෘක්ෂය තුල තවත් ස්ථරයක් සම්පූර්ණ වෙනවා. සොයාගනු ලබන නව ෆොසිලයක් පාසා පෘථිවිය පිලිබඳව විද්‍යාත්මක දැනුම සම්පූර්ණ වෙනවා. ඉදිරියේදි මේ පිළිබඳව සවිස්තරාත්මකව දැනගැනීමට හැකිවෙයි.

සිම්බාකුබ්වා කුටොකෑෆ්රිකා විශේෂයේ යටි හනුවක් සමඟ වර්තමානයේදි ජීවත්වන සිංහයෙකුගෙ කපාලය ප්‍රමාණාත්මක සංසන්දනයක්

ඉහත දැක්වෙන්නේ සිම්බාකුබ්වා කුටොකෑෆ්‍රිකා විශේෂයේ යටි හනුවක් සමඟ වර්තමානයේදි ජීවත්වන සිංහයෙකුගෙ කපාලය ප්‍රමාණාත්මක සංසන්දනයක්. මේ සත්වයාගෙ ප්‍රමාණය මේ සංසන්දනයෙන් හිතාගන්න පුළුවන් වෙයි.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

No comments:

Post a Comment