Thursday, September 5, 2019

ටයිටැනොබෝවා (Titanoboa)


කොළොම්බියා රාජ්‍යයේ ලා ගුවායීරා ප්‍රදේශයෙන් හමුවන සෙරෙහොන් භූ සංකීර්ණය තුලින් දකුණු ඇමරිකානු වැසි වනාන්තර වල ආදීතම ෆොසිල සාධක හමුවනවා. 2009 වර්ශයේදි මේ සෙරෙහොන් සංකීර්ණය තුලින් සොයාගනු ලබනවා වසර මිලියන 58 -60 අතර කාලනීර්නය වන සර්ප ගනයකට අයත් ෆොසිල ගනනාවක්. මෙි ගනයේ සර්පයන් 28 කට අයත් ෆොසිල සොයාගැනීමත් සමඟම නම ලබා දෙනවා 'ටයිටැනොබෝවා' ලෙස.

ටයිටන්, ටයිටැනික් වැනි නාමයන්ගෙන් අර්ථවත් වෙන්නෙ අතිශයින්ම විශාල යන්න. සර්පයන්ගෙ තක්සෝන ධුරාවලියෙ කුලයක් වන බොයිඩේ කුලයට අදාල බැවින් (boa) බොවා යන කොටසත් එකතු වීමෙන් 'ටයිටැනොබෝවා' (Titanoboa) යන නාමය සකස්වෙනවා.

ටයිටැනොබෝවා ප්‍රතිනිර්මාණයක් 

වසර මිලියන 58 කට පමණ පෙර ජීවත්වූ මේ සත්වයා වචනයේ පරිසමාප්තියෙන්ම යෝධ සර්පයෙක්. දැනට හමුව ඇති ෆොසිල සාධක මත පෘථෘවිය තුල සැරිසැරූ විශාලතම සර්පයා බවට පත්වන්නෙ ටයිටැනොබෝවා ගනය. දිගින් මීටර 12.8 (අඩි 48) පමණ දිගු, බරින් ටොන් එකකට වඩා මඳක් වැඩි මේ සර්පයා ජීවත්වන්නේ එකල කොළොම්බියානු වැසි වනාන්තර තුල. ටයිටැනෝබෝවා ගනයේ දැනට නම් කර ඇති එකම විශේෂය ටයිටැනොබෝවා සෙරෙහොනෙන්සිස් (Titanoboa cerrejonensis).

ටයිටැනොබෝවා ප්‍රමාණාත්මක සංසන්දනය

බොයිඩේ කුලයේ සාමාන්‍ය ලක්ෂණයක් තමයි ගොදුර ඩැහැගත් පසු තදින් වෙලා ගනිමින් ගොදුර අඩපණ කිරීම. ටයිටැනොබෝවා මේ ක්‍රමයම යොදාගත් බවයි ෆොසිල විද්‍යාඥයන් සඳහන් කරන්නෙ. ආහාර රටාව පිලිබඳ විවිධ මත පවතිනවා. එක් මතයක් තමයි ටයිටැනෝබෝවා එකල ජීවත් වු සදාහරිත වනාන්තර ආශ්‍රිත වගුරු තුල ජීවත් වු විශාල කිඹුලන් ආහාරයට ගන්නට ඇති බව, දෙවන මතය තමයි ටයිටැනොබෝවා දන්ත සැකැස්ම සහ මුඛයේ මාංශපේෂි පිහිටීම අනුව මත්ස්‍ය භක්ෂක සර්පයෙකු බව. (බොයිඩේ කුලයේ මත්ස්‍ය භක්ෂක රටාවක් පෙන්නුම් කරන එකම ගනය ටයිටැනොබෝවා පමණයි). කෙසේ නමුත් මේ විශාල සර්පයා එකල දකුණු ඇමරිකානු වනාන්තර තුල බොහා් සත්ව විශේෂ වලට භීතිය ගෙන එන්නට ඇති.


ටයිටැනොබෝවාගේ දඩයම් විලාශය 

ටයිටැනොබෝවා සත්වයන්ගෙ වඳව යෑම පිලිබඳවත් මත කිහිපයක් පවතිනවා. ඉන් ප්‍රධානම මත ලෙස;

  1. එකල තිබු දේශගුණික තත්වය අදට වඩා උණුසුම්. ටයිටැනොබෝවා වැනි චලතාපී සත්වයන්ට මේ නිසා උණුසුම් දේශගුණය තුල විශාල සිරුරු දැරීමට හැකි වුනත් ක්‍රමයෙන් ඇතිවු දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන උණුසුම පහල යෑම තුල එවැනි විශාල චලතාපී සිරුරු පවත්වා ගැනීමට අපහසු වූ නිසා ක්‍රමයෙන් නශ්ඨ යෑම
  2. ටයිටැනොබෝවා ජීවත් වූ වගුරු සහිත පරිසර පද්ධතිය දේශගුණික විපර්යාස හේතුවෙන් ක්‍රමයෙන් වෙනස් වන විට ආහාර නොමැති වීමෙන් ටයිටැනොබෝවා සත්වයන් වඳව ගිය බව.

කෙසේ නමුත් වර්තමානයේදි ජීවත්වන විශාලතම සර්පයින් පවා මේ යෝධ සර්ප විශේෂය හමුවේ ලිලිපුට්ටන්. ක්‍රිටැසියස් නශ්ඨවීමෙන් පසු එළඹෙන යුගය තුල නියෝට්‍රොපික්ස් ලෙස හඳුන්වන ජෛව භූගෝලීය කලාපය තුල භීතිය පැතිරවු මේ විශේෂයේ පරිණාමික පරිඡ්ඡේදය පැලියොසීන අවධියේදි අහවර වෙනවා. යම් දේශගුණික කලාපයකට පමණක් පරිණාමිකව සුහුරු වී සීටි පමණින් හෝ යෝධ ප්‍රමාණයන්ට එළඹුනු පමණින් වර්ගයාගෙ පැවැත්ම තහවුරු නොවන බවට පවතින සාධක ගොන්න අතරින් ටයිටැනොබෝවා යනු තවත් එක් සාධකයක් පමණයි. ඒ අනුව පරිණාමික දිනපොත තුල ටයිටැනොබෝවා පරිඡ්ඡේදය අවසන්.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment