Friday, September 6, 2019

පිහිනා යන පිනි මුවන් (Swimming Reindeer)


ඉහල පැලියොලිතිකයට අයත් වර්තමාන ප්‍රංශය ලෙස හඳුන්වන ප්‍රදේශය තුල මීට වසර 17000 - 12000 අතර ජීවත් වු මානවයන්ගෙ සංස්කෘතිය හඳුන්වන්නෙ මැඩලීනියන්/මැග්ඩලීනියන් සංස්කෘතිය ලෙස. මේ මැඩලීනියානු සංස්කෘතියට අයත් හෝමෝ සේපියානුවන් ඉතාමත් විචිත්‍රවත් කලා නිර්මාණ සිදුකල ජනතාවක්. වර්තමානයේදි වඳව ගොස් ඇති ප්ලයස්ටොසීන යුගයේ සිටි සත්ව සන්තතිය මේ මැග්ඩලීනියානු ජනතාව ජීවත් වු යුගයේම ජීවත්වු නිසා මේ සත්වයන්ගෙ චිත්‍ර මැග්ඩලනීයානු ලෙන් සිතුවම් තුල දකින්න පුළුවන්.

මැග්ඩලීනියානුවන්ගෙ කලා හැකියාව ඉතාමත් හොඳින් පෙන්වන උදාහරණයක් තමයි පිහිනන පිනි මුවන්ගෙ කැටයම. 1866 දි සොයාගන්නා මේ සියුම් නිර්මාණය එවිට පවතින්නෙ කොටස් දෙකකට කැඩී. නමුත් පසුව මේ කොටස් දෙක එකම නිර්මාණයක් බව වටහාගෙන නැවත ප්‍රතිසංස්කරණ සිදුකරනවා.

මේ කැටයම කපා තිබෙන්නෙ මැමත් දලයක කෙලවර. මැග්ඩලීනියානුවන් නිරන්තරයෙන්ම මැමත් සත්වයන් සමඟ ගැටෙන්න ඇති බවට හොඳ නිදසුනක් එය. කැටයමේ දැක්වෙන්නෙ පිහිනා යන පිනි මුවන් යුවලක්. ගැහැණු සත්වයා ඉදිරියෙන් පිහිනා යන අතරේ පිරිමි සත්වයා පසුපසින් දැක්වෙනවා. වැඩුණු අංතට්ටුව පැවතීමත්, ඟඟක් හරහා පිහිනා යෑමත් දකින්න පුළුවන් වෙන්නෙ ශරත් සෘතුවෙදි පමණයි. ඒ පිනි මුවන්ට අං ලැබෙන්නෙ ශරත් සෘතුවේදි, එමෙන්ම පිනි මුවන් සංචරණය ආරම්භ වෙන්නෙත් අදාල සෘතුවෙදි.




(ඡායාරූපයේ වර්තමානයේදි දකින්න පුළුවන් පිනිමුවන් පිහිනා යෑමේ ඡායාරූපයක් සහ මැග්ඩලීනියානු කැටයම ඉදිරිපත් කර තිබෙන්නෙ කැටයම කොතරම් යථාර්ථවාදී ලෙස ඉදිරිපත් කර ඇද්ද යන්න ඔබට සංසන්දනාත්මකව බැලීමට.)

මේ කැටයම් වසර 13000 පමණ පැරණි කැටයමක්. මීට වසර 13000 පමණ පෙර මැග්ඩලීනියානුවෙක් සරත් සෘතුවෙ සංචරණයේ යෙදෙන පිනි මුවන් මැමත් දලයක කෙලවර රූපයට නගන්නෙ අප මානව ශිෂ්ඨාචාර ලෙස හඳුන්වන ඒවායේ ආදිතමය ලෙස ගත හැකි මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය බිහිවීමටත් වසර 8000 පමණ පෙර. ප්‍රාග් ඓතිහාසික යුගයට ගැනෙන මැග්ඩලීනියානු සංස්කෘතිය තුල මානවයා  එදිනෙදා පරිසරය ඉතාමත් සියුම් ලෙස රූපයට නැගීමට තරම් සංකීර්ණ හැකියාවලින් යුත් වූවෙක්ද යන්න ඔබට සිතීමට ඉඩ..


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment