Monday, October 19, 2020

බෙන්ජමින් (Benjamin Tasmanian tiger)


2020 සැප්තැම්බර් මාසේ 6 වෙනිදාට හරියටම වසර 84 කට පෙර 1936 වර්ශයේ සැප්තැම්බර් 6 වෙනිදාවක බෙන්ජමින් අවසන් හුස්ම හෙලනවා. හෝබාර්ට් සත්වෝද්‍යානය තුලදි මියැදෙන බෙන්ජමින් සමඟ මියැදෙන්නෙ සමස්ථ තයිලසීන් වර්ගයා.

බෙන්ජමින්
 
බෙන්ජමින් සංකේතාත්මක වශයෙන් පෙන්නුම් කරන්නෙ මානව ප්‍රජාවේ ව්‍යප්තිය හේතුවෙන් අසාධාරණයට ලක්වන මිහිමත ජීවත්වන සමස්ථ ජෛව විවිධත්වය. ඇතැම් යුරෝපීය කෞතුකාගාර තුල තයිලසීනයන්ගෙ ටැක්සිඩර්මීඩ් නිදර්ශක දෙස මඳ වෙලාවක් බලාසිටින විට ඔබ පරිසරයට ආදරය කරන්නෙකු නම් දැඩි කණගාටුවක් දැනෙනු නියතයි. වසර සීයකට මෙපිටින් හුස්ම ගත් මිහිමත සැරිසැරූ මේ අපූරු සත්වයා සහමුලින්ම වඳ කර දැමීමට හේතුව මානව වර්ගයා බව ඔබට පසක් වු විට කණගාටුව යටපත් කරමින් ඉදිරියට පැමිණෙන්නෙ කෝපයක්. නැවතත් මේ සත්වයා මිහිමත දැකීමට නොහැකි බව පසක් වු විට ඔබට දැනෙන්නෙ කෝපය මැඬගෙන ඉදිරියට එන කිසිවක් කරකියා ගත නොහැකි හැඟීමක්.

තයිලසීනයන්, තස්මේනියානු ව්‍යාඝ්‍රයා, තස්මේනියානු වෘකයා නමින් හඳුන්වන බෙන්ජමින්ගෙ වර්ගයා 19 වන සියවස තෙක් පැමිණි ගමන් මඟ දෙස නැවත හැරී බැලුවොත් ඔවුන් පසුගිය වසර 40000 කාල පරිඡ්ඡේදය තුල විවිධ බාධක ජයගෙන පැමිණි සත්ව කොට්ඨාසයක්. ඔස්ට්‍රේලියානු මහද්වීපයට මීට වසර 40000 පමණ පෙර ප්‍රථම මිනිස් වර්ගයා ඇතුල් වීමෙන් පසු එවත ජීවත්වූ ඔස්ට්‍රේලියානු ප්ලයස්ටොසීන සත්ව සන්තතිය වඳව යෑම ඇරඹෙනවා. තයලකලියො කාර්නිෆැක්ස් නැමැති විශාල පැසිපොව් විලෝපිකයන්, ඩයිප්‍රොටොඩොන් නැමැති යෝධ වොම්බැට් විශේෂ, ප්‍රොකොප්ටොඩොන් නැමැති යෝධ කැන්ගරුවන්, ජෙනියෝර්නිස් නැමැති පක්ශි ගනය ආදී සමස්ථ සත්ව සන්තතියක් මේ යුගය තුල මිහිමතින් නශ්ඨවන විට තයිලසීනයන් මේ නශ්ඨවීම් දාමයෙන් ගැලවී ඉදිරියට පැමිණෙනවා.

ඔස්ට්‍රේලියානු ප්‍රධාන මහද්වීපයට ඩින්ගෝ සතුන් හඳුන්වාදීමත් සමඟ මීට වසර 3000 පෙර ඔස්ට්‍රේලියානු ප්‍රධාන ගොඩ බිමෙන් ඉවත්ව තයිලසීනයන් තස්මේනියානු දූපතට පමණක් සීමා වෙනවා. නමුත් පසුකාලීන මානව සංක්‍රමණය සමඟ මේ සත්වයන් සීග්‍ර ලෙස දඩයම් කිරීමෙන් ඔවුන්ගෙ අවසානය සනිටුහන් වෙනවා. බෙන්ජමින් කියන්නෙ ඒ තයිලසීන් පරපුරෙ අවසන් පුරුක.

බෙන්ජමින්ගෙ වර්ගයාගෙ අපූර්වත්වය මොනතරම්ද කියන්න ඔවුන්ගෙ ස්වාභාවය තේරුම්ගත යුතුයි. තයිලසීනයන්, තස්මේනියානු වෘකයන්, තස්මේනියානු ව්‍යාඝ්‍රයන් ආදී නම් වලින් හැඳින්වූවාට මොවුන් කිසිසේත් වෘකයන්ට, ව්‍යාඝ්‍රයන්ට සමාන කමක් නැති සතුන්. සමාන්තර පරිණාමය නැමැති ක්‍රියාවලිය ඔස්සේ වෘකයෙකුගෙ පෙනුම තිබුනාට මේ සත්වයාගෙ අස්ථි පද්ධතිය පවා වෘකයන්ට කිසිසේත් සමාන කමක් නැති අස්ථි සැකැස්මක්. තයිලසීනයන් වඩාත් සමීප කැන්ගරුවන්ට. එනම් මොවුන් පැසිපොව්වන්. තවත් විදිහකින් කිව්වොත් පැටවුන් ගෙන යෑමට පැසක් තිබෙන සතුන්. හිතන්න එහෙම පැටවු ගෙන යන පැසක් සහිත වෘකයෙක් වගේ සත්වයෙක්. ඒ තමයි තයිලසීන්. මේ සත්වයන්ගෙ හිස්කබල පවා සම්පූර්ණ වෙනස් සැකැස්මක් තිබෙන සත්ව විශේෂයක්.

එවැනි අපූරු සත්ව විශේෂයක් තමයි මානවයන් විසින් 20 වෙනි සියවස මත්තේදී මිහිමතින් අතුගා දමන්නෙ. තයිලසීනයන් වඳවන බව මිනිසුන් වටහා ගන්නා විට ඔවුන් ප්‍රමාද වැඩී. ආරක්ශිත විශේෂයක් ලෙස තයිලසීනයන් නම් කර ගතවන 59 වන දින තමයි බෙන්ජමින් මිය යන්නෙ.

කළු සුදු ඡායාරූපයක ඔබ මේ දකින බෙන්ජමින් සිය වර්ගයාගෙ ඛේදාන්තය මැනවින් පෙන්නුම් කරනවා. ඔස්ට්‍රේලියානු තැනි සහ නිම්න තුල අණසක පැතිරවු මේ අපූරු සත්වයන්ගෙ අවසාන සාමාජිකයා සත්වෝද්‍යානයක යකඩ කම්බි පිටුපසට වී සිටින්නේ තමන්ගෙ වර්ගයාගෙ අවසාන සළකුණ ලෙස.
 
 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE
 
 

No comments:

Post a Comment