Saturday, October 24, 2020

පිටසක්වල ජීවීන් විසින් තැනු ප්‍රතිමා ? (Who built these statues? Aliens?)


ඊස්ටර් දුපත කියන්නෙ චිලී රාජ්‍යට අයත් පාලන ප්‍රදේශයක්. වර්තමානයේදි ඊස්ටර් දූපත ලෙස හැඳින්වුවාට ස්වදේශික භාෂාවෙන් හඳුන්වන්නේ රැපානූයි ලෙස. ඊස්ටර් දූපතේ සිට ඈත සාගරය දෙසට නෙත් යොමා සිටින ප්‍රතිමා ඉතාමත් අභිරහස් නිර්මාණ ලෙස බොහෝ දෙනෙක් හඳුන්වනවා. ටොන් ගනනාවක් බරැති මේ ප්‍රතිමා මනුශ්‍යන් විසින් තැනකින් තවත් තැනකට ගෙන යා නොහැක බවත් ඒවා පිටසක්වල ජීවීන්ගෙ තාක්ෂණය තුලින් ප්‍රවාහනය කල ඒවා බවටත් සඳහන් යූටුබ් නාලිකා, වැඩ සටහන් සිය ගනනක් ඔබ අන්තර්ජාලය තුල සැරිසැරුවොත්, සොයා බැලුවොත් දකින්න පුළුවන්.

මිනිස් වර්ගයාගෙ දහඩිය මහන්සියෙන් චිත්ත ධෛර්ය සහ සිතීමේ හැකියාව තුලින් බිහිවන විශ්වකර්ම නිර්මාණ පිටසක්වල ජීවයකට ඈඳිමෙන් සිදුකරන හානිය සුළුපටු නෑ. මේ නිර්මාණ මිනිස් ශ්‍රමය තුලින් බිහිවුන ආකාරය සොයා බලනවා වෙනුවට බොහෝ දෙනා යොමුවන්නේ ඒවාට අභිරහස් මුහුණුවරක් ලබාදී ප්‍රචලිත කිරීමට.

රැපානූයි ජනතාව පලමු වරට බටහිර විද්‍යාඥයන්ට නිරාවරණය වන විට මේ ප්‍රතිමාවල ඉතිහාසය ඔවුන්ගෙන් විමසු විට ඔවුන් ප්‍රකාශ කරන්නෙ මේ ප්‍රතිමා ඔවුන් ඇවිද්දවු බවයි. පරම්පරා ගනනාවන සිට යටගිය දැනුම තුලින් ඔවුන්ගෙ නුතන පරම්පරා දැන සිටින්නේ ඒ කතාව පමණයි. "අපේ මුතුන් මිත්තන් මේ ප්‍රතිමා ඇවිද්දෙව්වා" යැයි පැවසිම තුල ගුප්ත බවක් රැඳි තිබෙන නිසාම ඒවා පසෙක දැමීමට බොහෝ දෙනා එකල යුහුසුළු වූවත් ඇවිද්දවීමෙන් මොආයි මොඩලයේ ප්‍රතිමාවක් තැනින් තැනට ගෙන යා හැකි ආකාරය ඔබට පහත වීඩියොවෙන් නරඹන්න පුළුවන්.
 

ඉතාමත් සරළ තාක්ෂණයක් සහ මිනිස් බලය උපයෝගි කරගනිමින් ටොන් ගනනක ප්‍රතිමාවක් ඇවිද්දවන ආකාරය තුල තිබෙන්නෙ පිටසක්වල තාක්ෂණයක් නොව මිනිස් වර්ගයා සතුව පවතින බුද්ධියයි.

වර්තමාන පරම්පරා අතිශයින්ම තාක්ෂණික ලෙස දියුණු උපකරන මත යැපෙමින් සියළු කාරණා ඉතාමත් පහසුවෙන් කරගත්තාට අනාදිමත් කාලයක සිට බොහෝ දේ සිදු කිරීමට විකල්ප ක්‍රමවේද සහ දැනුම සතු ගුරු පරම්පරාවන් සෑම ජාතියක් සතුවම පැවත තිබෙනවා. ඒ නිසා තමන් සතු බුද්ධියට ග්‍රහණය කර ගැනීමට නොහැකි යමක් පැවතුන පලියට ඒවාට පිටසක්වල තාක්ෂණයන් ඈඳිමේ මන්දබුද්ධික ක්‍රියාව සිදු නොකරන්න. මේක ලංකාවේ බොහෝ පෞරාණික නිර්මාණ සම්බන්දයෙනුත් පොදු කාරණයක්. පිටසක්වල ජීවය නොව තමන්ගෙම ආදීතමයන්ගෙ බුද්ධි මහිමයට ලැබිය යුතු ගෞරවය ලබා දීමට වග බලාගන්න.


(වීඩියෝව අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
 #DOE
 
 

No comments:

Post a Comment