Wednesday, October 21, 2020

උතුරු සුලඟේ ශිත මකරා (Frozen Dragon of the North winds)


ටෙරෝසෝරයන්  ගැන අපි #DOE තුලින් කලින් කීප වතාවක් කතා කලා. 2019 සැප්තැම්බර් 10 නව ටෙරෝසෝර් විශේෂයක් ලෝකයට හඳුන්වා දුන්නා. මේ අලුත් ටෙරෝසෝර් විශේෂය ගැන සටහනක්.

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශය කියන්නෙ ඩයිනෝසර අවශේෂ බහුලව හමුවන භූ සංකීර්ණ සහිත ප්‍රදේශයයක්. මේ භූ සංකීර්ණය තුලින් කලකට පෙර සොයාගනු ලැබූ ටෙරෝසෝර් ෆොසිල කාණ්ඩයක් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබුනෙ "ක්වෙට්සල්කෝට්ලස් නෝත්‍රෝපි' ලෙස හඳුන්වන එතෙක් මෙතෙක් පියාසැරිය ලැබු විශාලතම සත්වයා ලෙස විරුදාවලිය ලබන ටෙරෝසෝර් විශේෂයට අයත් ෆොසිල ලෙස. නමුත් ලැබෙන නව ෆොසිල සාධකත් පෙර වර්ගීකරණය කර තිබු සාධකත් නැවත විශ්ලේෂණය කිරීමෙන් පසු විද්‍යාඥයන් මේ ෆොසිල සාධක අයත් වන්නෙ නෝත්‍රෝපි විශේෂට නොව මෙතෙක් හඳුනාගෙන නොමැති නව විශේෂයක් බව සඳහන් කරනවා.

ටෙරෝසෝරයන් ගැන #DOE තුලින් පෙර ඉදිරිපත් කර ඇති ලිපි තුල සඳහන් කලා මේ සත්ව කාණ්ඩය ඩයිනෝසරයන් ජීවත් වු යුගවල අධි විවිධත්වයක් සහිතව පරිණාමය වු සත්ව කාණ්ඩයක් බව. මෙලෙස පැතිරී ගිය එක් ටෙරෝසෝර් කුලයක් තමයි 'ඇස්ඩාකිඩේ' (azhdarchidae) කුලය. ඇස්ඩකිඩ්ස්ලාගෙ තිබෙන විශේෂත්ව තමයි මේ සත්වයන් යෝධ ප්‍රමාණයන්ට වර්ධනය වීම, දිගු ගෙල, විශාල හිස, විශාල පාද ආදිය. ඇස්ඩාකිඩේ කුලයට අයත් ටෙරෝසෝරයන් ඇන්ටාක්ටික් සහ ඔස්ට්‍රේලියානු මහද්වීප හැර ඉතිරි සියලු මහද්වීප තුල පැතිරී තිබෙනවා.

ඇස්ඩාකිඩේ කුලයට තමයි මෙි නම් කර තිබෙන නව ටෙරෝසෝරයා අයත් වන්නෙ. ග්‍රීක භාෂාවෙන් "උතුරු සුලඟේ ශිත මකරා" නැමැති අර්ථය ඇතිව මේ සත්වයාට ලබාදී ඇති විද්‍යත්මක නාමය 'ක්‍රයෝඩ්‍රෑකන් බෝරියාස්' (Cryodrakon boreas).
 
ක්‍රයෝඩ්‍රෑකන් බෝරියාස් ව්‍යුහයක රූපයක්

ඇල්බර්ටාවට වඩා පහල අක්ෂාංශ වල ජීවත්වන සිය ඥාතී ක්වෙට්සල්කෝට්ලස් නෝත්‍රෝපි මෙන්ම අඩි 33 පමණ පියාපත් විහිදුමක් සහිත බෝරියාස් විශේෂය මීට වසර මිලියන 77 -74 අතර ක්‍රිටැසියස් යුගයේ අවසාන භාගයට වන්නට ජීවත් වු යෝධ ටෙරෝසෝර් විශේෂයක්.
 

බෝරියාස් විශේෂයේ ප්‍රතිනිර්මාණ

ඉහත බෝරියාස් විශේෂයේ ප්‍රතිනිර්මාණ තුල වර්ණ රටා මනකල්පිත වුවත් සත්වයාගෙ ප්‍රමාණය සහ හැඩරුව නියමාකාරයෙන් දක්වා තිබෙනවා. එක් ප්‍රතිනිර්මාණයක උතුරු එලි (අවුරෝරා) දකින්න පුළුවන් පසුතලයේ. ඒකට හේතුව තමයි බෝරියාස් විශේෂය ඉහල අක්ෂාංශ වල ඇල්බර්ටා වැනි ප්‍රදේශ තුල ජීවත් වීම. ආක්ටික් කවයට ඉතාමත් සමීප මේ ප්‍රදේශ තුල තමයි උතුරු එලි දකින්න පුළුවන් වෙන්නෙ.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)

 


#DOE


No comments:

Post a Comment