Tuesday, October 20, 2020

කියවන්න.., සිතන්න... (Keep calm and Read carefully)



මේ පිටුව තුල කතා කරන විෂයන් එකකටවත් සම්බන්ධයක් නැති දෙයක් ගැන තමයි මේ කතාව. ඔබ සමහර විට දැකලත් ඇති ඇතැම් පුද්ගලයන් (ඔබත්, මමත් ඇතුළුව) යම් කිසි කාරණයක් සඳහන් කර ඇති පෝස්ට් තුල නැවත ඒ කාරණයම ප්‍රශ්න කරනවා. උදාහරණයකට අපි හිතමුකො යම්කිසි භාණ්ඩයක් මේ ෆේස්බුක් තුල මිල සඳහන් වීමක් සමඟ තිබෙනවා කියා. ඉතාමත් පැහැදිලිව මිල සඳහන් කර ඇති විටත් ඔබට දකින්න පුළුවන් ඊට යටින් ප්‍රතිචාර වල නැවත මිල විමසා සිටින අයුරු.

#DOE තුලත් පෝස්ට් තුල මේ වගේ කාරණා දකින්න පුළුවන්. කොතරම් හයිලයිට් කර යම් කාරණයක් සඳහන් කර තිබුනත් නැවතත් ඒ දත්තය විමසීම. මේකට හේතුව තමයි සමාජ මාධ්‍යජාල ඇතුළු සමස්ථ අන්තර්ජාලයම භාවිතයේදි ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව උඩට පහලට ස්ක්‍රොල් කිරීමේ පුරුද්ද. ප්‍රතිඵලය තමයි ඔබ මොළයට අවශ්‍ය යැයි විධාන දෙන නියෝගයක් පවා ක්‍රමානුකූලව සිදුකිරීමට මොළය අසමත් වීම. කුඩා කාලයේදි අප බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමයි අවධානය එක් තැනක රඳවා ගැනීමේ අපහසුතාව. නමුත් ක්‍රමයෙන් මේ තත්වයන්ගෙන් මිදුනත් වර්තමාන තොරතුරු තාක්ෂණික ලෝකය තුල මේ අවධානය, ක්‍රමානුකූලව ධාරණය කරගැනීමේ හැකියාව, විචාර බුද්ධියකින් විමසා බැලීම ආදී කාරණා අපගෙන් ගිලිහෙමින් පවතිනවා.

මේක ඉතාමත් සුළු කාරණයක් වගේ පේන්න තිබුනට සාමාජීය වශයෙන ඉතාමත් විශාල ගැටලුවක් බවට පත්වීමේ ප්‍රවණතාව වැඩී. ඔබ දෙයක් ගැන නියමාකාරයෙන් නොකියවා, තොරතුරු සොයා නොබලා, තහවුරු කර නොගෙන, ධාරණය නොකරගන්නාතාක් අසත්‍ය තොරතුරු , නිරවද්‍යතාවකින් තොර තොරතුරු ඔබ අතින් නැවත ප්‍රතිසංසරණය වීමේ හැකියාවකින් යුක්තයි. විවිධ අවර ගනයේ ප්‍රචාරණ ක්‍රමවේදයන්ට, විවිධ දේශපාලනික හස්ථයන් විසින් බෙදා හරින අසත්‍ය තොරතුරු වලට ඔබ හසුවෙන්න තියෙන ඉඩ කඩ ඉතාමත් විශාලයි. කියවන දෙයක් ජීර්ණය නොවන්නෙත්, අන්තර්ජාලයෙන් කියවන යමක් පොතක සඳහන් යමකට වඩා ධාරණය නොවන්නත් හේතුව මේ කියවන්නන් වාලේ කියවීම. මේ තත්වයනට ඇබ්බැහි නොවී තේරුමක් ඇතිව, සනාථ කරගත් තොරතුරු ලබාගන්න යුහුසුළු වෙන්න. නැතිනම් මේ තොරතුරු තාක්ෂණික ලෝකය තුල අනාථයන් බවට පත්වීමේ හැකියාව ඉතාමත් ඉහලයි.
 
 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 


#DOE
 
 

No comments:

Post a Comment