Thursday, October 22, 2020

ඇල්බට්‍රොස්ලා හැමදාම පියාඹනවාද? (Do Albatross fly for 6 years?)


ඇල්බට්‍රොස්ලා ගැන ප්‍රශ්න රාශියකින් #DOE ඉන්බොක්ස් එක පිරිලා තියෙන නිසා සහ ස්ථාන කිහිපයකම බොහෝ දෙනා මෙන්ශන් කරලා ප්‍රශ්න අහලා තියෙන නිසා ඇල්බට්‍රොස් කුරුල්ලන් සම්බන්ධ ප්‍රශ්න කිහිපයකට පිළිතුර සපයා නොහැකි තැනට වැඩ සිද්ධ වෙලා තියෙනවා. බහුතර මතයට හිස නමමින් අද ඇල්බට්‍රොස්ලා ගැන.

ඇල්බට්‍රොස් කියන පොදු නමින් හැඳින්වූවාට මේ ඇල්බට්‍රොස් කියන නමින් ඩයොමිඩියඩායි පක්ශි කුලයේ සමස්ථ සමාජිකයන්ව තමයි හඳුන්වන්නෙ. ඩයොමිඩියඩායි කුලය තුල ඇල්බට්‍රොස් ගනයන් හතරක් දකින්න පුළුවන්. ඩයොමිඩා, තැලැස්සාර්කි, ෆීබැස්ට්‍රියා, ෆිබිට්‍රියා නැමැති ඇල්බට්‍රොස් ගනයන් වලට අයත් විශේෂ 20 කට අධික ප්‍රමාණයක් ලෝකයේ විවිධ ස්ථාන තුල ජීවත් වෙනවා. මේ විශේෂ ගනන ඇතැම් විද්‍යාඥයන්ට අනුව 21, 22,23 අතර දෝලනය වෙනවා.

මේ සියළුම විශේෂ ඇල්බට්‍රොස් පක්ශින්. විවිධ ප්‍රමාණ, විවිධ වර්ණ, විවිධ චර්යා අනුගමනය කරත් ඔවුන් සියල්ලම පරිණාමිකව ඉතාමත් සමීප ඥාතීන්. මොවුන් අතර කොපමණ වෙනස්කම් තිබුනත් සියල්ලන්ටම පොදු කාරණය තමයි ඇල්බට්‍රොස් විශේෂ අති දක්ෂ පියාසරන්නන් වීම. 

ඇල්බට්‍රොස්ලා අතර වොන්ඩරින් ඇල්බට්‍රොස් (Diomedea exulans) විශේෂ ලොව විශාලතම පියාපත් විහිදුම (wingspan) විරුදාවලිය සඳහා යෝජනා වෙන පක්ශියෙක්. නමුත් මේ සඳහා ඇන්ඩියන් කොන්ඩෝර් ඇතැම් සමාජිකයනුත් ඇතැම් පාර්ශව තුලින් යෝජනා වෙනවා. මෙතනදි මතක තියාගන්න ඕන කාරණාය තමයි දිගුම පියාපත් විහිදුම කියන්නෙ විශාලතම පක්ෂියා කියන එක නෙමෙයි. වොන්ඩරින් ඇල්බට්‍රොස්ලාට වැඩිය බරින් ඉතාමත් වැඩි පියාසැරිය සහිත පක්ශින් තව ඉන්නවා. අප්‍රිකානු මහද්වීපයේ හමුවන කෝරි බස්ටර්ඩ් වැනි විශේෂ එලෙස බරින් වැඩි පක්ශින්. 

දෙවනි කාරණය තමයි ඇල්බට්‍රොස්ලාගෙ මුල් අවුරුදු 6 කිසිම විටෙක ගොඩබිමට නොපැමිණ පියාසර කරමින් සිටිනවා කියන කතාව. මේ කතාවේ කොටසක් නිවැරදි. ඔවුන්ට ගොඩබිමට පැමිණීමට තරම් හේතුවක් නැහැ. නමුත් ඔවුන් මේ අවුරුදු 6 ම අහසේ ඉන්නෙ නෑ. ලෑන්ඩ් නොකරනවා කියන අදහස හයිලයිට් වුනාට පිහිනන්නෙ නැත්තෙ නෑ. ඔවුන් මුහුදට අනුවර්තනය වු පක්ශින්. ඒ නිසා මුහුදු මතුපිට ඔවුන් විවේක ගන්නවා. 

මුහුද මත සිටින වොන්ඩරින් ඇල්බට්‍රොස් පක්ශියෙක්

සැතපුම් 10000 වඩා පියාඹන්න පුළුවන්ද ඇල්බට්‍රොස්ලාට ? පිළිතුර ඔව් සහ නෑ. ඇල්බට්‍රොස්ලාට සැතපුම් 10000 හෝ ඊටත් වඩා ගමන් කරන්න පුළුවන් නමුත් මේ තටු සැලීමෙන් කරන පියෑඹීකින් නෙමෙයි. ඔවුන් පරිණාමිකව දියුණු වෙලා තියෙන්නෙ සුළං ධාරා වල ආධාරයෙන් සර්පණය වීමට (glide). වෙහෙසකින් තොරව මේ ක්‍රමය Dynamic soaring ලෙස හඳුන්වන්නෙ. මුහුද මතුපිට සිට මීටර් 20 පමණ උසින් යුත් ප්‍රදේශයේ සුළඟේ හැසිරීම ඉතාමත් වෙනස්. ඝර්ෂණය හේතුවෙන් ඇතිවන පීඩන වෙනස්කම් සහ ඉහළ පහළ යන සුළං ධාරා තුල ආයාසයකින් තොරව කිසිඳු තටු සැලීමකින් තොරව ඇල්බට්‍රොස්ලා ගමන් කරනවා. මේ හෙතුව නිසා අහසේ රැඳී සිටීමට ඇල්බට්‍රොස්ලාට ශක්තිය වැය වන්නෙ නැති තරම්. පියාපත් එකම ආකාරයකින් සකස් කරගැනීමට හැකි කන්ඩරාවන් (tendons) පිහිටීම මේ සඳහා ඔවුන්ට ආධාරයක් වෙනවා. ඒ නිසා අනෙක් පක්ශීන්ගෙ පියෑඹීම සහ ඇල්බට්‍රොස් පියෑඹීම වෙනස්. (Dynamic soaring ක්‍රමය උපයෝගී කරගන් තවත් පක්ශි විශේෂ සිටිනවා). 

Dynamic soaring සිදුවන සුළං රටාවන්

දීර්ඝ පියාසැරියන්වල යෙදීමට හැකි වුනත් ඇල්බට්‍රොස් පක්ශින් ගොඩබාන්නෙ නැති කතාව අදාල වන්නෙ ගොඩබිමට පමණයි. ඔවුන් මුහුදු මතුපිට ගොඩබානවා. පිහිනීමට උපකාරීවන බැඳි පාද (webbed feet ) ඇල්බට්‍රොස්ලට පිහිටන්නෙ ඒ නිසා. පහත ඡායාරූප වල ඒවා දකින්න පුළුවන්. ඒ නිසා ඇල්බට්‍රොස්ලා ගොඩබාන්නෙ නැති කතාව වැරදියි. ඔවුන් විවේක ගන්නවා. 


ඇල්බට්‍රොස්ලාගෙ බැඳි පාද

ඇල්බට්‍රොස්ලා කියන්නෙ ඉතාමත් අපූරු පක්ශි විශේෂයක්. පැරණි යාත්‍රිකයන් ඇල්බට්‍රොස්ලාව වාසනාවේ සංඛෙත විදිහට තමයි දැක්කෙ. හර්මන් මෙල්විල් , සැමුවෙල් ටේලර් කෝල්රිජ් වැනි රචකයන්ගෙ සාහිත්‍ය කෘතී, කවි තුල ඇල්බට්‍රොස් පක්ශින් ගැන සඳහන් වෙනවා. ඇල්බට්‍රොස් දීර්ඝ ආයු ඇති පක්ශින්. වසර 50 -60 පමණ ආයු කාලයක් ඇති මේ පක්ශින් මන්දගාමී ප්‍රජනකයන්. මේ නිසාම ඇතැම් ඇල්බට්‍රොස් විශේෂ වඳව යෑමේ තර්ජනයට ලක්වෙලා තියෙන්නෙ. 

මන් හිතන්නෙ අහපු ප්‍රශ්න වලට යම්තාක් දුරකට උත්තර ලැබුනා කියලා හිතනවා 😊

 
 
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


No comments:

Post a Comment