Monday, October 19, 2020

කමුයිසෝරස් ජැපොනිකස් (Kamuysaurus japonicus)


2019 වසර තුල ෆොසිල විද්‍යාවේ නව සොයාගැනීම් අතරට එක්වන නවතම ඩයිනෝසර විශේෂය වාර්තා වන්නෙ ජපානයෙන්. සැප්තැම්බර් මස 5 වනදින හඳුන්වාදෙන මේ නව හැඩ්‍රොසෝරිඩ් කාණ්ඩයට අයත් නව ගනය සහා විශේෂය සොයාගනු ලබන්නෙ ජපානයේ හොකයිඩෝ දූපතෙන්.

ජැපොනිකස් ෆොසිලය

කමුයිසෝරස් ජැපොනිකස් (Kamuysaurus japonicus) ලෙස නම් කර ඇති මේ හැඩ්‍රොසෝරියාවන්ගේ නමෙහි අර්ථය සැළකුවොත්, 'Kamuy' අර්ථය ජපානයේ ස්වදේශික අයිනු ජනතාවගේ භාෂාවෙන් 'දේවතාවා'. කමුයිසෝරස් නාමය ලැබෙන්නෙ මේ අයිනු පදයෙන්. සෝරස් යනු උරගයා. ජැපොනිකස් පදය ජපානයට. මේ නව විශේෂය හැඩ්‍රොසෝරිඩ් කාණ්ඩය තුල එඩ්මන්ටෝසෝරිනි නැමැති ක්ලේඩයට අයත් ගනයක් ලෙස සලකනු ලබනවා. හොකයිඩෝ විශ්වි විද්‍යලයේ මහාචාර්ය යොශිට්සුගු කොබයාශි විසින් හැඩ්‍රොසෝරියාවන් විශේෂ 70 පමණ අයත් ෆොසිල හා සංසදනය කිරීමෙන් පසු සුවිශේෂී ව්‍යුහ විද්‍යාත්මක වෙනස්කම් කිහිපයක් මත මේ නව ගනය සහ විශේෂය නම්කර තිබෙනවා.

ජැපොනිකස් ප්‍රතිනිර්මාණයක්

ජැපොනිකස් නිදර්ශකය අයත් සත්වයා මිය යන විට වයස 9 පමණ සත්වයෙකු බවත්. බරින් ටොන් 5.3 පමණ වන්නට ඇති බවත් සඳහන් වෙනවා. හැඩ්‍රොසොරියා කාණ්ඩයේ පරිණාමයත් , ඔවුන් ක්‍රමිකව ආසියාව සහ උතුරු ඇමරිකානු කලාපයනට සංක්‍රමණය වී ඇති ආකාරයත් ගැන නව දැනුම් සම්භාරයක් මේ සොයාගැනීම් සමඟින් ආලෝකමත් වෙනවා. විද්‍යාඥයන්ට අනුව හැඩ්‍රොසෝරියාවන් උතුරු ඇමරිකානු කලාපය තුල සම්භවය වි ආසියානු කලාපය තුලට සංක්‍රමණය වීමෙන් පසු අධි විවිධත්වයක් සහිතව පැතිරීම සිදුව තිබෙනවා. හැඩ්‍රොසෝරියාවන් ක්‍රිටැසියස් යුගය අවසාන කාලය වන තෙක්ම මෙලෙස විවිධත්වයක් පෙන්වු විශේෂයක්. එමෙන්ම වඩාත් සාර්ථක ශාඛ භක්ෂක කාණ්ඩයක් වශයෙන් හැඩ්‍රොසෝරියාවන් නම් කරන්න පුළුවන්.

හැඩ්‍රෝසෝරියාවන් විවිධ පාරිසරික නිකේත තුලට අනුවර්තනය වීමට කොතරම් සුහුරු කාණ්ඩයක්ද යන්න ඔවුන්ගෙ විශේෂ විවිධත්වය පෙන්නුම් කරනවා. උදාහරණයකට මේ වසර තුල හැඩ්‍රෝසෝරියාවන් නව විශේෂ තුනක් ෆොසිල විද්‍යාවෙන් හඳුන්වා දී තිබෙනවා. පරිණාමික දිනපොතින් මේ හැඩ්‍රොසොරිය විශේෂ ගැන මීට පෙර සටහන් ඔබ වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ වසරේ මොංගෝලියානු කලාපයෙන් සොයාගනු ලැබු 'ගොබිහැඩ්රෝස් මොංගෝලියෙන්සිස්' විශේෂය වගේම ඔස්ට්‍රේලියානු මහද්වීපයෙන් මාස කිහිපයක පෙර සොයාගනු ලැබු 'ෆොස්ටෝරියා ඩිම්බාන්ගුන්මල්' විශේෂ ගැන ඔබට මතක නම් ඔවුන්ද හැඩ්‍රෝසෝරියාවන් බව ඔබට මතක් වනු ඇති.

කෙසේ නමුත් ජැපොනිකස් විශේෂය මීට වසර මිලියන 77 පමණ පෙර ක්‍රිටැසියස් යුගයේ අවසාන භාගයට වන්නට ජීවත් වු හැඩ්‍රොසොරියාවෙක්. සොයාගනු ලැබු ෆොසිලය ක්‍රිටැසියස් යුගයට අයත් සාගර ස්ථර මතින් වෙනත් මුහුදු ජීවීන් සමඟ සොයාගැනීම නිසා විද්‍යඥයන් විශ්වාස කරනවා මේ විශේෂය වෙරළ ආශ්‍රිතව ආහාර සොයා ගිය විශේෂයක් බවට.

ජැපොනිකස් නිදර්ශකය ක්‍රිටැසියස් සාගරය තුල තැන්පත් වු ආකාරය චිත්‍ර ශිල්පියෙකුගෙ ඇසින්

මීට වසර මිලියන 100 - 66 අතර කාලය විවිධ හැඩ්‍රොසෝරියා විශේෂ වර්තමානයේදි අප්‍රිකානු සැවනා තුල විල්ඩබීස්ට් , සීබ්‍රාවන් වැනි ශාඛ භක්ෂකයන් පැතිරී සිටින්නාක් මෙන් පෘථෘවිය පුරාම පැතිරී තිබු කාලයක්. සම්පූර්ණ ශාඛ භක්ෂකයන් වන මොවුන් විශාල කන්ඩායම් විවිධ කලාප තුල සංක්‍රමණික රටා දක්වමින් විවිධ නිකේතන තුලට අනුවර්තනය වෙමින් අති සාර්ථක ලෙස පැතිර ගියත් ඔවුන්ගෙ පරිණාමික පරිඡ්ඡේදය ක්‍රිටැසියස් නශ්ඨවීමෙන් පසු අහවර වෙනවා.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE


No comments:

Post a Comment