Wednesday, October 21, 2020

කැල්පියා (Neolithic woman, Calpeia)

 
ජිබ්රොල්ටාවෙ දකුණු කෙළවරට වෙන්නට පිහිටි යුරෝපා තුඩුවේ ගල් ගුහාවක වසර 7500 පමණ පෙර නියෝලිතික අවධියේදි මිහිදන් වෙනවා කාන්තාවක්. වර්තමාන විද්‍යාව විසින් අැයගේ කපාල අස්ථි උපයෝගි කරගනිමින් නැවත ඇයගේ ජීවමාන රූපයට පණ දෙනවා. DNA සහ වෝහාරික විද්‍යාව උපයෝගි කරගනිමින්.විද්‍යාව ආධාරයෙන් නැවත ගොඩනැගූ වසර 7500 පමණ පැරණි කාන්තාවකගෙ සැබෑ ස්වරූපය තමයි ඔබ මේ දකින්නෙ. කැල්පියා ලෙස නම් ලැබූ ඇයව අද මීට සුළු මොහොතකට කලින් නිරාවරණය කරනු ලැබුවා.
කැල්පියා

කැල්පියා ප්‍රතිනිර්මාණය කල අයුරු

 
කැල්පියා ප්‍රතිනිර්මාණය ගැන විවිධ ගැටලු අහලා තිබ්බ නිසා පොදුවේ ඒ සියල්ලටම පිළිතුරක් විදිහට මේ සටහන.

මීට වසර 7500 පමණ පෙර ජිබ්රොල්ටාවෙ යුරෝපා තුඩුව අසල ලෙන් භූමදානයකින් තමයි කැල්පියාට අයත් අස්ථි හමුවන්නෙ. මේ අවධිය හඳුන්වන්නේ නියෝලිතික අවධිය එහෙම නැත්තන් නව ශිලා යුගය ලෙස. කැල්පියාගෙ කපාලය වසර ගනනාවක් ගතවීම නිසා යම් කොටස් හානි වී තිබුනත් නවීන ස්කෑන් ක්‍රම භාවිතයෙන් එම කොටස් නැවත සැකසීමට හැකියාව නවීන විද්‍යාව තුල පවතිනවා. කැල්පියා කියන්නෙ ඇත්තටම නූතන විද්‍යාවට කපාල ප්‍රතිසංස්කරණ කිරීමේදි පැන නගින අනෙක් අභියෝග හා සැසඳීමේදි ඉතාමත් පහසු අභියෝගයක්. උදාහරණයකට වසර මිලියන 3.5 කට පමණ පෙර මිය ගිය, කැබලි වී විකෘති වී පවතින ඔස්ට්‍රලෝපිතෙකස් ගනයට අයත් කපාලයක් පවා නැවත සකස් කිරීමේ හැකියාව මේ තාක්ෂණය සතුව තිබෙනවා.

මේ ස්කෑන් තාක්ෂණික ක්‍රමවේදයන් තුලින් කපාලය ප්‍රතිසංස්කරණය කර සම්පූර්ණ කරගත් පසුව සිදුකරන පියවර තමයි වෝහාරික විද්‍යාවේ තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් කපාලයට ජීවමාන ස්වරූපය නැවත ලබා ගැනීම. මිනිස් කපාලයක පේශි පටක පිහිටන ආකාරය , ඒවා තුනීව, සියුම්ව, ගනව කපාලය වටා පිහිටන ආකාරය පිළිබඳව විවිධ නියමයන් පවතිනවා වෝහාරික වෛද්‍ය විද්‍යාව තුල. මේ නියමයන් අනුසාරයෙන් තමයි මුහුණු ප්‍රතිනිර්මාණය කරන්නෙ. මුල් අවස්ථාවේදි නැවත ප්‍රතිසංස්කරණ කරන ලද කපාලයේ 3D ප්‍රින්ට් (ත්‍රිමාණ මුද්‍රණයක්) බොහෝ විට කාස්ට් එක වශයෙන් යොදාගන්නවා.
 
ත්‍රිමාණකරනයෙන් කපාල ප්‍රතිසංස්කරණය

මේ මුද්‍රිත කපාලයේ ලෑන්ඩ්මාර්ක් පොයින්ට්ස් ලෙස හඳුන්වන ස්ථාන සටහන් කරගැනීම ඉන්පසු සිදුවෙනවා. පහත ඡායාරූප වල ඔබට පේනවා ඇති ත්‍රිමාණකරන කල කපාලයට චෝක් කෑලි වැනි යමක් තැනින් තැන අලවා ඇති ආකාරය. ඒ ලෑන්ඩ් මාර්ක් පොයින්ට්ස් සටහන් කරගැනීමක්.
 
මුහුණ ප්‍රතිනිර්මාණය කරගැනීමේ ලෑන්ඩ්මාර්ක් පොයින්ට්ස් සහිතව

ලෑන්ඩ්මාර්ක් පොයින්ට්ස් වලට අදාලව මාංශපේශින් ප්‍රතිනිර්මාණය තමයි ඊලඟ පියවර. මෙතැන් පටන් වෛද්‍ය විද්‍යාව, භෞතික මානව විද්‍යාව, මානව වංශ විද්‍යාව සහ මූර්ති ශිල්පයේ හවුලක් ලෙස තමයි මේ වැඩේ ඉදිරියට යන්නෙ. අක්ශි කුහර තුලට සාදාගත් අක්ශි සවි කිරීමෙන් පසු ක්‍රමයෙන් මාංශ පේශින් ඇඹීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් ශංඛක අස්ථිය (temporal bone) ආශ්‍රයෙන් තමයි මේක ආරම්භ කරන්නෙ නමුත් විවිධ ශිල්පීන් අනුව වෙනස් වෙන්න පුළුවන්.
 
කාස්ට් එක
ඇස් සහ මාංශපේශින් නිමවා ගත් මූර්තිය

මාංශපේශින් ප්‍රතිනිර්මාණය කරගත් පසුව තිබෙන්නෙ සමේ එකතු කර ගැනීම. කැල්පියාගෙ සමේ වර්ණය කල්පිතයක් ලෙස නොව DNA අනුසාරයෙන් යෙදුණු වර්ණයක්. කැල්පියාට අයත් අස්ථි තුලින් ලබාගත් DNA සාම්පල විශ්ලේෂණය තුලින් සොයාගන්නවා ඇයගෙ ජානමය අතීතය (genetic ancestry). පර්යේෂණ අනුව 10% පමණ ඇය ජිබ්රොල්ටාව ආශ්‍රිත හන්ටර් ගැදරර් ගෝත්‍ර වල උරුමයත් 90% පමණ අනටෝලියානු නියෝලිතික පූර්උවජ රුමයත් ලද තැනැත්තියක්.

අනටෝලියන් කියන්නෙ වර්තමාන තුර්කිය ආශ්‍රීත ප්‍රදේශය. නැගෙනහිර මධ්‍යධරණීය නියෝලිතික් සංස්කෘතිය ක්‍රමයෙන් යුරෝපයට සංක්‍රමණය වීමක් තමයි මෙහිදි පෙන්නුම් කරන්නෙ. සරලවම කැල්පියාගෙ ආසන්නතම මුතුන් මිත්තන් ජිබ්රොල්ටාවට සංක්‍රමණය වූවන්. මෙතනදි ඉතාමත් වැදගත් කාරණා තමයි මේ DNA වලින් හෙලිවන මේ කාලය තුල යුරෝපයට සිදුවන මධ්‍යධරණීය තාක්ෂණික සහ සංස්කෘතික හුවමාරුව. මේ කාලයේදි තමයි කැල්පියා ජීවත් වෙන්නෙ.

මේ DNA සංයුතිය තුලින් තමයි ඇයගෙ සමේ වර්ණය ලබා දී තිබෙන්නේ. මධ්‍යධරණීය පෙදෙස්වල වෙසෙන ජනතාවට අයත් වර්ණයක් ඒක.
 
ප්‍රතිනිර්මාණය නිමවූ කැල්පියා

මේ ආකාරයෙන් මුහුණු නිර්මාණය කරගනිද්දි අස්ථි කොටස්,කපාලය ආශ්‍රිතව වයස නිවැරදිව ගනනය කරන්න පුළුවන්. අදාල වයසට අනුව සිදුවන මාංශපේෂි පුළුල් වීම්, ඇකිලීම් ආදය ලෑන්ඩ්මාර්ක් පොයින්ට්ස් වලදි සටහන් වන බවත් සඳහන් කල යුතුයි.

බොහෝ දෙනෙක් පෙර පෝස්ට් එකේ ප්‍රශ්න කර තිබුනා කැල්පියාගෙ ඇඳුම පිළිබඳව. ඒක මොඩර්න් වගේ කතාවක් එක්ක. ඇඳුම් පිළිබඳව සාධක හමුවන්නේ කැල්පියා ඉන්න කාලෙටත් වඩා වසර 45000 කට පමණ පෙරදි. කැල්පියාගෙ කාලය වන විට අනටෝලියානු නියෝලිතික සම්ප්‍රදායන් ෆ්ලැක්ස් හණ යොදා ගනිමින් ඇඳුම් විවීම ප්‍රගුණ කර තිබු සංස්කෘතියක්. අනටෝලියානු මුතුන් මිත්තන්ටගන් පැවත එන කැල්පියා ප්‍රාථමික ඇඳුම් භාවිතා කරන්නට ඇති බව හිතන්න අමාරුයි. ඇයගේ කාලයට වඩා වසර 2000 පමණ පැරණි වියන ලද රෙදි පිළිබඳව සාධක මේ නියෝලිතික සම්ප්‍රදායෙන් හමුවනවා.
 
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ DNA පිළිබඳව පර්යේෂණ පත්‍රිකාව මේ වසරේ සයන්ස් ජර්නලය තුල පලවුවක්. ඒ වගේම මේ ප්‍රතිනිර්මාණය හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයත් ජිබ්රොල්ටා කෞතුකාගාරයත් අනුබද්ධිත ව්‍යායාමයක් ලෙස තමයි එලි දකින්නෙ. ඉතින් ඔබට වැටහෙන්න ඕන සෑම සූක්ෂම ලක්ෂණයක්ම ඉතාමත් පරික්ෂාවෙන් යුතුව, විද්‍යාත්මක විනයක අනුකූලව ප්‍රතිනිර්මාණය කල දෙයක් මිස ආවාට ගියාට , හිතළු ආකාරයට සිදුකල දේවල් නොවන බව. ලංකාව වගේ රටවල් තුල දේශපාලනය විසින් රෝගියේකුටවත් CT ස්කෑන් එකක් දීමට නොහැකි තැනට ඇද දමා තිබුනට අනෙක් බොහෝ රටවල පුරාවිද්‍යාව, ෆොසිල විද්‍යාව වැනි ක්ශේත්‍ර ගනනාවකට පවා CT ස්කෑන් සුලබ ලෙස යොදාගන්න යුගයක් මේක. විද්‍යාවේ දියුණුවත් එක්ක අපි ගොඩක් පසුපසින් ඉන්නෙ. නමුත් අප පසුපසින් සිටින පලියට අනෙක් බොහෝ ක්ශේත්‍රයන් තවත් බොහෝ රටවල සීග්‍රයෙන් ඉදිරියට යන බව අප වටහාගත යුතුයි.


(Images via Gibraltar NM)
 


#DOE

Link to Facebook post --->

Link to Facebook post ---> 

No comments:

Post a Comment