Saturday, October 17, 2020

හාර්පීන්ගෙ මිථ්‍යාව සහ සත්‍ය (Myth and truth of Harpies)


ආදී ග්‍රීක සහ රෝම වෘතාන්තයන් තුල හමුවන එක් සත්ව ආකාරයක් තමයි 'හාර්පීස්' නැමැති සත්ව ආකාරය. හාර්පි කියන්නෙ කාන්තා හිසකුත් පක්ශි සිරුරක් සහ විශාල නිය සහිත සත්ව කොටසක්. හෙසියොඩ්, වර්ජිල් වැනි ග්‍රීක , රෝම රචකයන් තියොජිනි, එනීයඩ් වැනි කාව්‍යයන් තුල හාර්පීන් ගැන සඳහන් කරනවා. එක් වෘතාන්තයකට අනුව ෆීනියුස් නැමැති ත්‍රේසයේ රජුට සියුස් විසින් අනාගතය දැකීමේ වරම ලබා දෙනවා. ෆීනියුස් එය භාවිතා කර දෙවියන්ගෙ සැලසුම් දකිනවා. මින් කිපෙන සියුස් ,ෆීනියුස්ගෙ ඇස් අන්ධ කර දූපතක තනි කරනවා. දූපතේ ආහාර සියල්ල නොඅඩුව තිබුනත් කුසගින්නේ සිටින ෆිනියුස් හට ආහාර ගැනීමට කිසි විටෙක අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒ හාර්පීන් පැමිණ ඒවා ඩැහැගනු ලබන නිසා. වසර ගනනකට පසු කොල්චිස් බලා පිටත් වන ජේසන් ප්‍රමුඛ ආර්ගොනෝට්වරුන් විසින් හාර්පීන් පලවා හැර දෑස් අඳ ෆීනුයුස්ව සියුස්ගෙ ශාපයෙන් ගලවාගනු ලබනවා. හාර්පීන් නැවතත් ක්‍රීටයේ ලෙනකට පසු බසින බව වෘතාන්තයේ සඳහන් වෙනවා.

ග්‍රීක රෝම කතාවල හාර්පීන්ගෙ නම සහිත සැබෑ ලෝකයේ හාර්පීන් ගැන කතා කරන්නයි ඒ ප්‍රවිශ්ඨය ලබා ගත්තෙ. පහල ඡායාරූපයේ ඔබ දකින්නෙ හාර්පී රාජාලි විශේෂයට අයත් පක්ශියෙක්. විද්‍යාත්මකව Harpia harpyja ලෙස හඳුන්වන මේ විශේෂය ජීවත් වන්නෙ මධ්‍යම සහ දකුණු ඇමරිකානු කලාපය තුල. හාර්පී රාජාලියන් වර්තමානයේ ජීවත්වන විශාලතම රාජාලි විශේෂයක්. දකුණු ඇමරිකානු වැසි වනාන්තරවල වියන් ස්ථර තුල ජීවත්වන වඳුරන්, මන්දයන් ආදී සතුන් දඩයම් කරමින් ඔවුන් ආහාර සපයා ගන්නවා. දැනට ජීවත්වන රැප්ටර් පක්ශි විශේෂ අතරින් විශාලම නකර දරන්නෙ හාර්පී රාජාලියන්.
 
හාර්පී රාජාලි විශේෂයට අයත් පක්ශියෙක්
 
සාමාන්‍යයෙන් බර 7 kg දක්වා පෙන්නුම් කරත් මිනිස් ඇසුරේ ඇතිවුන ඇතැම් නිදර්ශන 12 kg පමණ විශාලව වැඩුන අවස්ථා පවතිනවා. අඩි 7 පමණ පියාපත් විහිදුවාලීමක් ඇති මේ පක්ශින් ඉතාමත් දැකුම්කළු තේජාන්විත පක්ශි විශේෂයක්.

පුරාණ ග්‍රීක සහ රෝම වෘතාන්ත වලට වර්තමානයේදි පණ පොවන මේ පක්ශින් වනාන්තර වැස්ම අඩුවීමත් සමඟ වඳවී යාමේ අවදානමට ලක්වු විශේෂයක්. හාර්පී රාජාලියන්ගෙ ඡායාරූප වරින් වර සමාජ මාධ්‍යජාල තුල සංසරණය වන විට ඒවා නිර්මිත ඡායාරූප ලෙස ඇතැමුන් හැඳින්වුවත් හාර්පි රාජාලීන් යනු සත්‍ය වශයෙන්ම ජීවත්වන අලංකාර පක්ශියෙක්. පරිණාමික දිනපොතේ මේ පරිඡ්ඡේදය වෙන් කලේ ඔවුන් වෙනුවෙන්.
 
 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)




#DOE
 
 
 
 
 

No comments:

Post a Comment