Tuesday, September 10, 2019

ෆොස්ටෝරියා ඩිම්බාන්ගුන්මල් (Fostoria dhimbangunmal)


ජුනි මස (ජුනි/2019) මුල් සතිය තුල ඔස්ට්‍රේලියාවෙන් සොයාගත් නවතම ඩයිනෝසර විශේෂය තමයි "ෆොස්ටෝරියා ඩිම්බාන්ගුන්මල්". 'ෆොස්ටෝරියා කියන ගන නාමය ලැබෙන්නේ අදාල ඩයිනෝසර ෆොසිල ලැබුන පතල සොයාගත් ෆොස්ටර් නැමැති පතල්කරුවාට ගෞරවයක් ලෙස. "ඩිම්බාන්ගුන්මල්" නමින් හඳුන්වන්නෙ අදාල ෆොසිල සොයාගත් ස්ථානයට ඔස්ට්‍රේලියානු ඇබොරොජින්වරු භාවිතා කල ස්වදේශික නාමය.

ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ ග්‍රිමන් ක්‍රීක් සංකීර්ණයෙන් තමයි මේ සොයාගැනීම සිදුකරන්නෙ. ඉගුවානොඩොන්ටිඩේ (Iguanodontidae) වර්ගයට අයත් වන මේ විශේෂයේ සමාජිකයන් සිව් දෙනෙකුගෙ ෆොසිල මේ ස්ථානයෙන් හමුවෙනවා. මෙහි විශේෂත්වය තමයි ඔස්ට්‍රේලියානු මහද්වීපය තුල රංචුවක් ලෙස ෆොසිල වාර්තා වු ප්‍රථම ඩයිනෝසර විශේෂය වීම.

ෆොස්ටෝරියා ඩිම්බාන්ගුන්මල් 

ෆොස්ටෝරියා විශේෂය ශාඛභක්ෂකයන්. ඉගුවානොඩොන්ටිඩේ කාණ්ඩයටම පොදු ලක්ෂණ ෆොස්ටෝරියා විශේෂය තුලත් දකින්න පුළුවන්. මීට වසර මිලියන 100 කට පමණ පෙර මධ්‍ය ක්‍රිටැසියස් යුගයේ තමයි ෆොස්ටෝරියා ජීවත් වෙන්නෙ. වර්තමානයේ මෙන් නොව එක හරිත වැස්මක් මේ ප්‍රදේශය තුල පැවති බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නෙ. ෆොස්ටෝරියා විශේෂය සොයාගැනීමත් සමඟම ඔස්ට්‍රේලියානු කලාපයෙන් සොයාගෙන ඇති ඩයිනෝසර විශේෂ සංඛ්‍යාව 24 දක්වා ඉහල යනවා. ඉදිරියේදි සිදු කිරීමට නියමිත පර්යේෂණ මඟින් ෆොස්ටෝරියා පිලිබඳව වඩාත් සවිස්තරාත්මක තොරතුරු ලෝකයට අනාවරණය වෙනු ඇති.

විද්‍යාවෙ දියුණුවත් සමඟම නව ඩයිනෝසර විශේෂ සොයාගැනීම් සීග්‍ර ලෙස ඉහල යනවා. සතියකට එක් විශේෂයක් පමණ නිරාවරණය කර ගැනීමට තරම් වේගයකින් ෆොසිල විද්‍යාවේ ගමන් මඟ වේගවත්. පරිණාමික දිනපොත යාවත්කාලීන කිරීමට නොහැකි වු කාලය තුල සිදුවු මේ සොයාගැනීම ගැන ලියන මොහොතෙත් දකුණු ඇමරිකානු කලාපය තුලින් කුඩා ප්‍රමාණයේ මාංශ භක්ෂක වි⁣ශේෂක් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ පිලිබඳව තොරතුරු ඉදිරි ලිපියකින්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment