Monday, August 12, 2019

වූලී රයිනෝසිරස් (Woolly Rhinoceros)


ස්මයිලඩොන් සත්වයන් පිලිබඳව සටහන් කරපු පෙර ලිපියෙදි මම සඳහන් කරා හිම යුගයේ ආරම්භයත් සමඟම අනුවර්තනය වීමේ නොහැකියාව මත ඔවුන් මිහිමතින් නශ්ඨ වු බව. දේශගුණික විචලනයන් සියළුම සත්ව විශේෂ සඳහා එකම විදිහට බලපවත්නා සාධකයක් නෙවෙයි. ඇතැම් විශේෂ විචලනය වන දේශගුණික රටා සඳහා අනුවර්තනය වීම ඉතාමත් අපූරු අකාර වලින් සිදු වෙනවා.

වර්තමානයේදි ඔබ දකින අලි ඇතුන් වියලි දේශගුණික රටා සඳහා වැඩි අනුවර්තනයක් දැක්වුවත් ඔවුන්ගෙ ආසන්නතම පූර්වජ ඤාතියකු වන මැමත් විශේෂ වලින් වූලී මැමත් විශේෂය අධික ශීත සහිත පරිසර පද්ධති සඳහා අනුවර්තනය වු සත්ව විශේෂයක් ( දැන් බොහෝ දෙනා හිතාගෙන ඉන්නෙ මැමත් කියන්නෙ ලොම් සහිත අලි විශේෂය කියලා නමුත් මැමත් ලෙස හඳුන්වන වර්ග ගනනාවක් හිටියා, ඒ අතරින් ඇතැම් විශේෂ වලට පමණයි ලොම් ආවරණයක් පැවතුනේ. ප්රාග්ඓතිහාසික හස්ථි විශේෂ විවිධත්වය එතරම් අධිකයි, ප්ලයස්ටොසීන මුල් යුගය තුල එක් කාල සමයක ලෝකය පුරා හස්ථි විශේෂ 300 කට වඩා එකවර ජීවත් වුනා, මෙයින් ඔබට හිතාගන්න පුළුවන් ඔවුන්ගෙ විවිධත්වය කොතරම්ද කියන එක)

වූලී මැමත් සතුන් මෙන්ම ඝන ලොම් ආවරණයකින් හෙබි අධික ශීත දේශගුණික රටාවලට අනුවර්තනය වු තවත් සත්ව කාණ්ඩයක් තමයි "වූලී රයිනෝසිරස්". මේ සත්වයින් ග්රීක භාෂාවෙන් Coelodonta ලෙසත් හඳුන්වනු ලබනවා. සීලෝඩොන්ටා යන ග්රීක නමේ අර්ථය "කුහරයක් සහිත දත". වසර 3,500,000 පමණ පෙර සිට වසර 11,000 පමණ පෙර කාලය දක්වා අවසන් හිම යුගයෙදි තමයි මේ සත්වයන් මිහිමත සැරිසරන්නේ.


වූලි රයිනෝසිරස්

යුරේසියාව (යුරෝපය සහ ආසියානු කලාපය) නිජබිම කරගන්න මේ සතුන්ගෙ අවසාන කාලය වත්මන් හෝමෝ සේපියානුවන්ගෙ යුරේසියානු පැතිරීම සමඟ ඝට්ටනය වෙනවා. මේ සතුන් කොතරම් සුලබව පැවතියාද යන්න හොඳම නිදසුනක් තමයි ප්රාග්ඓතිහාසික ලෙන් චිත්ර වල වූලී රයිනෝසිරස් සතුන්ව ඇඳ තිබීම.

වසර 11,000 පමණ පෙර සිට වූලී රයිනෝසිරස් සතුන් මිහිමතින් තුරන් වෙනවා. හිම යුගයේ අවසානය සනිටුහන් වන මේ කාලයෙන් පසු අද වන තෙක් වූලී රයිනෝසිරස් සතුන්ගෙ සමකාලීන සත්වයන් වන පිනි මුවන්, මස්ක් ඔක්ස් ගවයන් ජීවත් වුනත් රයිනෝසිරස් සතුන් වඳ වීමට හේතුව කුමක්ද ?

හිම යුගය අවසානයත් සමඟ යුරේසියානු භුමිය තුල හිම වැස්ම කෙමෙන් උතුරු අර්ධගෝලයේ කෙලවරට තල්ලු වීම ආරම්භ වෙනවා. ඒ සමඟම පෘථෘවිය නැවතත් උණුසම් වෙනවා. තමන්ගෙ නිජබිම් කෙටි වීමත් සමඟ ගහනයන් අවම වෙන වූලී රයිනෝසිරස් සතුන් නිජබිම් අහිමි වීමේ ගැටලුවටත් වඩා දැවැන්ත අභියෝගයකට මුහුණ දෙනවා. ඒ තමයි යුරේසියානු හිම බිම් තුල වෙනස්වන දේශගුණික රටාවලට කඩිනමින් අනුවර්තනය වෙමින් පැවැත්ම සකසාගන්නා හෝමෝ සේපියානුවන්ගෙන් ඇතිවන තර්ජන.

ටොන් 2-3 අතර බරින් යුත් වුලී රයිනෝසිරස් සත්වයන් ප්රාග්ඓතිහාසික හෝමෝ සේපියානුවන්ට හොඳ දඩයමක්. වරකට එක් සතකු දඩයම් කල විට ලැබෙන ප්රෝටීන ප්රමාණය ඔවුන්ට වාසියක්. කුඩා සතුන් හඹා ගොස් දහනය කරන ශක්තියට වඩා එකවර එක් රයිනෝසිරස් සතකු වැනි දැවැන්තයකු දඩයම් කිරීම තුල ශක්තිය ඉතිරි කර ගැනීම මෙන්ම වැඩි ප්රොටීන ප්රමාණයක් ඔවුන්ට ලැබෙනවා. විශාල සතුන් අධි පරිභෝජනයට ලක්වීම සිදුවන්නෙ එලෙසින්. හෝමෝ සේපියානුවන් ඇතිකල තර්ජනයත් සමඟ ගහන ඝනත්වයෙන් තවතවත් අවම වෙන මේ සත්වයන් අවසාන කාලයේදි ජාන විවිධත්වය අවම වීම නිසා ලෙඩ රෝග වලට මුහුණ දීමට ප්රතිශක්තිකරණ හැකියාවෙන් දුර්වල වන්නට ඇති. මේ හේතුන් සියල්ලන්ගේම අවසන් ප්රතිඵලය වන්නෙ වූලී රයිනෝසිරස් සතුන් මිහිමතින් තුරන් වීම.

මේ කතාවේ අවසන් කොටස වැදගත් වන්නෙ නශ්ඨවීම් සිද්ධි දාමයන් සඳහා ප්රධාන හේතුවක් ලෙස වත්මන් මානව දායකත්වය දැකිය හැකි ප්රථම නිදසුනක් ලෙස වුලී රයිනෝසිරස් , මැමත් සතුන්ගෙ නශ්ඨවීම් ගෙනහැර දැක්වීමට හැකි වීම.






වූලී රයිනෝසිරස් ප්‍රතිනිර්මාණ







හිම බිම් තුල තිබී සොයාගත් වුලී රයිනෝසිරස් ශරීර







වූලි රයිනෝසිරස් ෆොසිල


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment