Sunday, August 11, 2019

ලෙටෝලී පියසටහන් (Laetoli footprints) - 02




පෙර ලිපිය තුලින් ලෙටෝලී පියසටහන් පිළිබඳව පසුබිම් සටහන මා ඉදිරිපත් කලා. මේ කොටසින් සටහන් කරන්නෙ ලෙටෝලී පියසටහන් පිළිබඳ භෞතික තොරතුරු සහ අර්ථ නිරූපනය.

පෙර ලිපියේ සටහන් කල පරිදි පියසටහන් යුගල ත්රිත්වයක් හඳුනාගෙන තිබෙනවා. ඒවා G1, G2, සහ G3 ලෙස කේතකරනය සිදුකර තිබෙනවා. මේ පිය සටහන් අඩි 85 පමණ සමාන්තර ලෙස දිවෙන සටහන් යුගලක් ලෙසයි පිහිටන්නෙ. G1 සහ G2 අයිති හොමිනින් මානවයන් එකට ගමන් කර තිබෙන අතරේ G3 අයත් මානවයා පසුපසින් පැමිණ තිබෙනවා. මෙහිදි පසුපසින් පැමිණි G3 විසින් G2 ට අයත් පියවර 31 මත පියවර තබා ඇති බවයි පර්යේෂකයන් පවසන්නේ.

ද්වීපාදිකයෙකුගෙ අඩි ප්රමාණය සහ උකුල අතර අනුපාතය මඟින් උස නිමානය කරන්න පුළුවන්. ඒ අනුව G1 අඩි 4.1 සහ G3 අඩි 4.6 උසින් යුත් පුද්ගලයන්. G2 ට අයත් පියසටහන් මත G3 පියසටහන් පතිත වීම නිසා පැහැදිලි ලෙස G2 ගනනය කිරීමේ හැකියාවක් නැහැ.

පර්යේෂකයන්ට අනුව අවම තරමින් අදාල පියසටහන් ත්රිත්වයෙන් යුගල දෙකක් අයත් වන්නෙ ඔස්ට්රලෝපිතෙකස් ඇෆරෙන්සිස් විශේෂට. ඊට හේතුව වෙන්නෙ ෆොසිල සාධක මඟින් පෙන්නුම් කරන ඇෆරෙන්සිස් වරුන්ට සමාන මහපටැඟිල්ලක් පිහිටා තිබීමත් පියසටහන් අයත් කාලනිර්ණ දත්ත සමඟ සමානුරූපි කාලය තුලදීම අදාප ප්රදේශය අවට ඇෆරෙන්සිස් මානවයන් පැතිරී සිටීමත්ය.

ඇතැම් පර්යේෂකයන්ට අනුව G1 සටහන ඇෆරෙන්සිස් දරුවකුගෙත් G2 සහ G3 සටහන් ගැහැණු සහ පිරිමි මානවන්ගෙත් බව පැවසෙනවා. තවත් පර්යේෂකයන් කොටසක් පවසා සිටින්නෙ අදාල පියසටහන් ත්රිත්වය පිරිමි මානවයෙකු සහ ගැහැණුන් දෙදෙනකුට අයත් බවයි.

මෑතකදි මේ පිළිබඳව පර්යේෂණය කල තවත් කණ්ඩායමකට අනුව G2 සහ G3 එකම විශේෂය බවත් G1 යනු පසු අවස්ථාවක් අදාල ස්ථානය හරහා ගමන් කල වෙනත් හොමිනින් විශේෂයක් බවත් සඳහන් කරනවා. ඒ සඳහා ත්රිමාණකරන තාක්ෂණය යොදාගන්න ඔවුන් පෙන්වන්නේ G1 පියසටහන් හැඩයෙන් වෙනස් බවයි. ඒ වගේම G1 පියසටහන අළු මත සටහන් වන විට යම්තාක් දුරකට අළු වියලීමට ලක්ව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ලෙටෝලී ප්‍රතිනිර්මාණයක්

පියසටහන් හැඩය සහ සටහන් වූ ආකාරය ගැන විවිධ විද්යා ගුරුකුල අතර මත ගැටුම් තිබුනත් ඔවුන් සියල්ල එකඟ වන පොදු කාරනයක් තමයි අදාල පියසටහන් ඔස්ට්රලෝපිතෙකස් ඇෆරෙන්සිස් සෘජු සම්බන්ධයක් ඇති බව.

ලෙටෝලී ප්‍රතිනිර්මාණයක්

නූතන මානවයා බිහිව තවමත් ගතව ඇත්තේ වසර ලක්ෂ දෙකකට වඩා මඳක් වැඩි කාලයක්. ශිෂ්ඨාචාර බිහිවන්නට පටන් ගෙන ඇත්තෙ මීට වසර 5000 කට පමණ පෙර සිට. නමුත් සිතන්න, මීට වසර මිලියන 3.85 පෙර දෙපයින් ඇවිද ගිය වානර විශේෂයක් ලෙටොලි තැන්න හරහා ගමන් කර තිබෙන බව.

(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment