Sunday, August 11, 2019

බුද්ධිමත්ම බුද්ධිමත්ම ඩයිනෝසර විශේෂය (The most intelligent Dinosaur)


ටෲඩෝන් (Troodon)


කලකට ඉහතින් ජේ.ආර් සමන් මංජුල විසින් රචිත පිටසක්වල ජීවය ගැන පොතේ තිබුනු සටහනක් පසුකලෙක ලංකාවෙ පිටසක්වල ජීවය වැනි සංකල්ප ගැන උනන්දුවක් දක්වන රසික සමාජය විසින් පතුරුවනු ලැබුවෙ සත්ය කතාවක් විදිහට. මේ කතාව නිවැරදි කල යුතු නිසා පරිණාමික දිනපොත තුල අද මේ සටහන තබනවා.

මංජුල මහත්මයගෙ පොතේ තිබුනෙ ක්රිටැසියස් වඳවීමට ප්රථම ජීවත් වූ ඩයිනෝසර විශේෂක් බුද්ධිමත් බවින් අග්රස්ථානයක පසුවු බවත්, පසු කලෙක ඔවුන් පරිණාමය වී හෝමෝ සේපියන්වරුනට සමාන රුවින් යුතු වූ බවත්, දියුණු ශිෂ්ඨාචාරයක් ගොඩනැගූ ඔවුන් පසුකලෙක පෘථෘවිය හැර ගොස් විශ්වයෙ ඇතැම් ස්ථාන ජනාවාසකරණයට ලක් කල බවත් , අද අපට අසන්නට ලැබෙන පිටසක්වල ජීවීන් යනු ඔවුන් විය හැකි බවත්.

දැන් මේ ඉහත කතාව මත තමයි අද සටහන පදනම් වෙන්නෙ. මේ කතාවෙ හැටියට මෙවැනි මතයක් පවතිනවාද ?

1982 වර්ෂයේදි කැනඩාවෙ ඔටාවා කෞතුකාගාරයේ පෘශ්ඨවංශි ෆොසිල භාරකරුව සිටි ඉතාමත් ප්රසිද්ධ ෆොසිල විද්‍යාඥයකු වන ඩේල් රසල් විසින් උපකල්පනයක්, (පරිකල්පිතයක් කිව්වොත් වඩාත් නිවැරදි) ගොඩනගනවා චික්සුලුබ් උල්කාව නොගැටී ක්රිටැසියස් මහා නශ්ඨවීම ( ක්රිටැසියස් නශ්ඨවීම , චික්සුලුබ් ග්රහකය පිලිබඳව පෙර සටහන් කර ඇති ලිපි මාලාව කියවන්න) සිදු නොවුනානම් එකල ජීවත්වු ද්වීපාදික තෙරොපොඩ් සත්ව විශේෂ අතරින් බුද්ධිමත් සත්වයින් කුමන ආකාරයකින් පරිණාමය වේද යන්න. 

මෙතනදි බොහොම පැහැදිලිව මතක තබා ගතයුතු දෙය තමයි මෙය පරිකල්පන පර්යේෂණයක් (Thought experiment). මෙහිදි හුදු අනුමාන, වර්තමාන සත්වයන්ගෙ පරිණාමික තත්වයන් ආශ්රයෙන් සිදුකල උපකල්පන ආදියෙන් තමයි මේ චිත්රය ගොඩනගන්නෙ. ඩේල් රසල් නිර්මාණය කරන පරිණාමික ඩයිනෝසර ආකෘතිය ඕනැවට වඩා මානවරූපි ආකෘතියක් (Anthropomorphic) ගත් බවට එකල ග්රෙගරි .එස් පෝල්, තෝමස් හොල්ට්ස් වැනි ෆොසිල විද්‍යාඥයන්ගේ දරුණු විවේචන වලට ලක්වුනා. ඩේල් රසල් තමන් නිර්මාණයය කරපු ආකෘතිමය සත්වයාට දුන් නාමය තමයි ඩයිනෝසෝරිඩ් කියන්නෙ.

ටෲඩෝන් සහ ඩේල් රසල් නිර්මාණය කල ඩයිනොසොරිඩ්

ඩයිනොසොරිඩ්

මෙතෙක් වෙනකන් මම විස්තර කරේ මේ කතාවෙ අර්ධ විද්යාත්මක කොටස. ව්යාජ විද්යාත්මක (pseudo science) කොටසට සම්පූර්ණයෙන්ම මෙය බැහැර කරන්න අසීරු නිසා අර්ධ විද්යාත්මක යයි පැවසීම නිවැරදියි.

දැන් මේ ඩේල් රසල් ගොඩනගන කල්පිතය වගේම මෑත කාලීනව තිරගත වුන ජුරාසික් පාර්ක් වැනි චිත්රපට තුලින් ත් රැප්ටර් සත්වයින් සතු බුද්ධිය ඉස්මතු කරලා පෙන්නනවා. ඇත්තටම මේ සත්වයන් බුද්ධිමත්ද යන්න විමසා බැලීම තමයි පරිණාමික දිනපොත තුල මේ සටහනෙ අරමුණ. ⁣

ඩේල් රසල්ගෙ කල්පිතයට පාදක වෙන සැබෑවටම ජීවත්වුන ඩයිනෝසර විශේෂයක් තමයි ටෲඩෝන් විශේෂය. සාමාන්යයෙන් ඩයිනෝසර විශේෂ අතරින් බුද්ධිමත්ම විශේෂය ලෙස විද්‍යාඥයන් නම් කරන්නෙ මේ ටෲඩෝන්ලව.

ටෲඩෝන්

ටෲඩෝන් ෆොර්මෝසුස් විශේෂ මේ ගනයට අයත් පැහැදිලිව හඳුනාගත් එකම විශේෂය. මොවුන් බුද්ධිමත්ම ඩයිනෝසර විශේෂය ලෙස හැඳින්වීමට හේතුපාදක වෙන්නෙ ඔවුන්ගෙ ශරීර කපාල අනුපාතය ඉහල අගයක් ගැනීම. ඒ කියන්නෙ ශරීරයට සාපේක්ෂව ඉහල කපාල ධාරිතාවක් දැරීම. නමුත් ශරීර කපාල අනුපාතය ඉහල අගයක් ගත් පමණින් ඔවුන් අතිශයින්ම බුද්ධිමත් ජීවි කොටසක් යැයි පැවසීම වැරදි ප්රකාශයක්. ටෘඩෝන් කපාල ධාරිතාව අනුව ඔවුන්ගෙ බුද්ධිය උපරිමයෙන්ම සමාන වෙන්නෙ වර්තමානයේ ජීවත්වන පක්ශීන්ගෙ බුද්ධියට. කිසිසේත්ම ඉතාමත් ප්රාථමික ක්ශීරපායියෙකුගෙ බුද්ධියට පවා ලඟා වීමට ටෘඩෝන්ට හැකියාවක් නැහැ. ටෘඩෝන් විශේෂයටත් වඩා පහල මට්ටමක තමයි අනෙක් රැප්ටර් සතුන්ගෙ ශරීර කපාල අනුපාතය පිහිටන්නෙ. චිත්රපටවල කතාන්තරවල තිබු පමණින් සත්ය නොවන මෙවන් ප්රකාශ සහ අතිශයෝක්තීනට වඩා විද්යත්මක කරුණු වෙනස් බව මතක තබා ගන්න.


(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment