Thursday, August 15, 2019

පරිණාමික රටා (Evolutionary patterns) - 02




පෙර සටහනෙදි වර්තමානයේදි ජීවත්වන බීවර්, ස්ලොත් සහ වොම්බැට් විශේෂ ගැන කෙටි විස්තරයක් මම ඉදිරිපත් කරා. ඒ ඔවුන්ගෙ වර්තමාන විශේෂ වල ප්රමාණයන් ගැන ඔබට අවබෝධයක් ලබා දීමට. ප්ලයස්ටොසීන යුගයෙදි මේ සත්වයන්ගෙ සමීප ඤාතීන් වචනයේ පරිසමාප්තියෙන්ම යෝධයන්.

ස්ලොත් සත්වයන් සලකා බැලුවොත් ඔවුන්ගෙ ආසන්නතම පූර්වජ විශේෂයක් වන මෙගාතිරීයම් මීටර් 4 පමණ උසකට වැඩෙන සත්වයෙක්.

මෙගාතිරීයම්
ප්‍රමාණාත්මක සංසන්දනය 


බීවර් සතුන්ගෙ ආසන්නතම පූර්වජයන් සැලකුවොත් කැස්ටරොයිඩාවන් ගවයකු තරම් විශාල සත්වයෙක්.

කැස්ටරොයිඩ්ස්
ප්‍රමාණාත්මක සංසන්දනය 


වොම්බැට් සතුන්ගෙ ආසන්න පූර්වජ විශේෂයක් වන ඩයිප්රොටොඩොන් සතුන් මීටර් දෙකක් පමණ උසට වැඩෙන සත්වයෙක් (කුඩා අලියෙකුගෙ ප්‍රමාණය).

ඩයිප්රොටෝඩෝන්
ප්‍රමාණාත්මක සංසන්දනය 

පෙර සටහනෙදි මම සඳහන් කරා මේ සතුන් මහද්වීප තුනක වෙසෙන එකිනෙකාට ඤාති සබඳතාවක් නොදක්වන විශේෂ බවට. එසේනම් ඔවුන් සියල්ලන්ම එකම විදිහට කුඩා ප්රමාණයන් දක්වා පරිණාමය වීමට බලපෑ කරුණු මොනවාද ?

වසර මිලියන 65 කට පමණ ඉහතින් යෝධ ඩයිනෝසරයන් පෘථෘවිය මත විසු අවධියේදි ඔවුන් විවිධත්වය අතින් පැතිරි සියළු පාරිසරික නිකේතන ජයගෙන සිටි සත්ව කොටසක්. ඩයිනෝසරයන්ගෙ නශ්ඨවීමත් සමඟ පාරිසරික නිකේතනවල ඇතිවන හිදැස පිරවීමට ක්රිටැසියස් නශ්ඨවීමෙන් ගැලවුන ක්ශීරපායි කොට්ඨාසයන් සමත් වෙනවා. ආහාර, වාසස්ථාන සඳහා ඔවුන්ට තරඟයක් දෙන්නට සමත් ජීවින් ඉතිරිව සිටියෙ නෑ. එහි ප්රතිඵලයක් ලෙස ඉන්පසු ඇතිවන යුග වලදි සියළු මහද්වීප තුල ක්ශීරපායින් යෝධයන් බවට පරිවර්තනය වෙනවා.

ඔවුන් නැවත කුඩා වුනේ කොහොමද ?

ප්ලයස්ටොසීන යුගය අවසානයත් සමඟ විශාල ක්ශීරපායින්ට දැඩි තර්ජන එල්ලවීම ආරම්භ වෙනවා. දේශගුණික විපර්යාස නිසා පාරිසරික නිකේතන පරිවර්තනය වීම ඇරඹීමෙන් ආහාර, වාසස්ථාන ගැටලු පැන නගිනවා. ක්රිටැසියස් යුගයෙන් පසු තිබු පෘථෘවිය නෙවෙයි ප්ලයස්ටොසීන යුගය අවසානයේදි දක්නට ලැබෙන්නේ. වර්තමාන මහද්වීප කැඩී වෙන්වි ගොඩබිම් පටු වීම ඇරඹිලා. ඒ වගේම හෝමෝ සේපියානුවන් සියළු මහද්වීප තමන්ගෙ දඩබිම් බවට පරිවර්තනය කරගෙන. විශාල ක්ශීරපායින් ක්රමයෙන් පහව යනවා. මෙගාතිරීයම් , ඩයිප්රෝටොඩොන්, කැස්ටරොයිඩාවන් ඇතුලු යෝධ ක්ශීරපායි කාණ්ඩ ප්ලයස්ටොසීන යුගය අවසානයත් සමඟ මිහිතලයෙන් අතුරුදහන් වෙනවා. නමුත් අනුවර්තන වීමට සමත් ඔවුන්ගෙ ඇතැම් පූර්වජ ශාඛා මේ තර්ජන හමුවේ කුඩා ප්රමාණයන් බවට පරිවර්තනය වෙනවා.

මම මේ පැහැදිලි කිරීමට ගත් සත්ව කාණ්ඩ තුන එකිනෙකාට ඤාතීත්වයක් නොදක්වන, මහද්වීප තුනකින් ගත් උදාහරණ. ඒ අනුව තහවුරු කරන්න පුළුවන් පාරිසරික පීඩනයන් කියන සාධකය පෘථෘවිය පුරාම එක ලෙස බලපැවැත්වුන බව. වර්තමානයේදි ඔවුන් කුඩා ප්රමාණයන්ගෙන් පෘථෘවිය මත සැරිසැරුවාට ඔවුන්ගෙ ආදීතමයන් පෘථෘවිය පුරා පැතිරී සිටි මහේශාක්ය මෘගයන්.

පරිණාමික දිනපොත තුල බිලියන ගනනක පිටු අතරින් උපුටාගත හැකි මේ වගේ පරිඡ්ඡේද තුලින් ඔබට වටහාගන්න පුළුවන් "පරිණාමය" නැමැති සංසිද්ධියට පාරිසරික බලපෑම් දක්වන දායකත්වය. ස්වභාවධර්මය විටෙක සත්ව කාණ්ඩ වලට කරුණාවන්ත වී ඔවුන් සුපිරි ජීවීන් බවට පරිවර්තනය කරනවා.. විටෙක ඔවුන්ට අකාරුණික වෙමින් පෘථෘවි තලයෙන් ඔවුන් අතුගා දමනවා... තවත් විටෙක කාලාන්තරයක් ඔවුන් නොසලකා හැර තබා ඔවුන්ගෙ තත්වයන් උසස් කරනු ලබනවා.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment