Sunday, August 11, 2019

ලෙටෝලී පියසටහන් (Laetoli footprints) - 01


හෝමෝ සේපියානුවන් පෘථෘවිය මත සැරිසැරීමට ප්රථම ඉතාමත් දීර්ඝ කාලයකට ඔබ්බෙන් අප්රිකානු මහද්වීපය තුල ඔවුන්ගෙ පූර්වජ පුරුක් දහස් ගනනක් අප්රිකානු මහද්වීපය පුරා සැරිසැරුවා.

මේ පූර්වජ පුරුක් අතරින් පූර්ණ දෙපා සංචරණ හැකියාව ලද පූර්වජ පුරුක් මොනවාද එසේ සිදුවූයේ කුමන වකවානුවකද යන්නට භෞතික මානව විද්යාව තුල විශාල වශයෙන් වාද විවාද ඇතිවු යුගයක උතුරු ටැන්සානියාව තුල අපූරු සොයාගැනීමක් සිදු කෙරෙනවා. උතුරු ටැන්සානියාවෙ ලෙටෝලී කියන ප්රදේශයෙන් තමයි මේ සොයාගැනීම කෙරෙන්නේ.

ලෙටෝලී ප්රදේශයේ පිහිටීම තිබෙන්නෙ ග්රේට් රිෆ්ට් නිම්නයේ නැගෙනහිර කෙලවර. ග්රේට් රිෆ්ට් නිම්නය කියන්නෙ මානව වංශකතාවේ තොටිල්ල විදිහට හඳුන්වන්න පුළුවන් ප්රදේශයට. මේ ප්රදේශය තුල තමයි හොමිනිඩ් පරපුරේ ආරම්භය ඇතිව තිබෙන කලාපය. ඒ වගේම ලෙටෝලි ප්රදේශය ඉතාමත් සමීපයි ඔල්ඩුවායි දුර්ග නිම්නයට. ඔල්ඩුවායි දුර්ග නිම්නය කියන්නෙත් ආදි මානවරූපී ආකාරවල සාධක විශාල වශයෙන් හමුවූ ඉතාමත් වැදගත් ස්ථානයකට.

1976 වර්ශයේදි ලෙටෝලි ප්රදේශය තුල පර්යේෂණ මෙහෙයවන මේරි ලීකි භෞතික මානව විද්‍යාඥවරිය විසින් සෙයාගනු ලබනවා මානවරූපී පියවර සටහන් පෙලක්. මේ පියවර සටහන් වැදගත් වෙන්නෙ කාරණා දෙකක් නිසා.
  1. එකී පියවර සටහන් අයත් වෙන්නෙ ද්වීපාද සංචරණය ඉතාමත් ක්රමවත් අයුරින් සිදුකල මානව විශේෂයකට. එකී පියවර සටහන් වත්මන් මානවයන් තරම්ම පැහැදිලි සහ සමාන අයුරින් සටහන්ව තිබෙනවා.
  2. පියවර සටහන් අයත් කාලපරිච්ඡේදය එහෙම නැත්තන් අදාල පියවර සටහන්වල වයස සටහන් වෙන්නෙ වසර මිලියන 3.63 - 3.85 ත් අතර කාල වකවානුවක්.

කාරණා දෙක සංයුක්ත කරාම ලැබෙන සරල සමීකරණය තමයි මීට වසර 3.63 - 3.85 ත් අතර කාලය තුල ද්වීපාද සංචරණය ඉතාමත් ක්රමවත් අයුරින් සිදුකල මානව විශේෂයක් ජීවත් වු බව.

ලෙටෝලී පියසටහන්

විශේෂඥ මතය අනුව මේ පියවර සටහන් අයත් වන්නෙ ඔස්ට්රලෝපිතෙකස් ඇෆරෙන්සිස් විශේෂයට.

ඔස්ට්රලෝපිතෙකස් ඇෆරෙන්සිස් ප්‍රතිනිර්මිත ශරීරයක්

ඔස්ට්රලෝපිතෙකස් ඇෆරෙන්සිස් ප්‍රතිනිර්මිත හිසක්

අදාල පියවර සටහන් පෙල තුල පුද්ගලයන් තිදෙනෙකුට අයත් පියවර සටහන් පවතිනවා. කෙසේද මේ පියවර සටහන් මෙතෙක් කල් සංරක්ෂණ වන්නට ඇත්තෙ?

වසර මිලියන 3.5 කට පමණ පෙර ලෙටෝලී ප්රදේශය ඉතාමත් සාරවත් ප්රදේශයක්. විවිධ සත්ව විශේෂ වගේම ඔස්ට්රලෝපිතෙකස් වාසස්ථාන මේ අවට ප්රදේශය පුරාම පැතිරි තිබෙනවා. වසර මිලයන 3.5 කට පෙර යම් දිනක එවන් ආදි මානවයන් තිදෙනෙක් තෙත් ගතියක් පැවති එකී ප්රදේශය තුලින් ගමන් කර තිබෙනවා. බොහෝවිට හේතුව වන්නට ඇත්තෙ ආසන්නයේ පිහිටි ගිනිකන්ද සක්රිය වීම. තෙත පොලව මත අඩි සටහන් පිහිටා නොබෝ වේලාවක් ගතවන්නට මත්තෙන් අසල ගිනිකඳු විදාරණයෙන් නික්මෙන තුනී අළු තට්ටුවක් මේ පියසටහන් මත පතිත වනවා. අළු තට්ටුව පතිතව නොබෝ වේලාවකින් පතිතවන වැහිබිඳු නිසා ඝණ බදාමයක ආකාරයෙන් අළු පියසටහන් මත ස්ථාවර වෙනවා. 

පියසටහන් පවතින ප්රදේශය තුල පවතින එකම පිය සටහන් අදාල මානව පියසටහන් පමණක් නොවෙයි. විවිධ සතුන්ට අයත් පියසටහන් 18000 පමණ අදාල ප්රදේශය තුල සංරක්ෂණ වී පවතිනවා. බොහෝවිට මේ සතුන් ගිනිකන්දෙන් ආරක්ෂා වීම සඳහා පලාගිය සතුන් වන්නට පුළුවන් බවයි ඇතැම් විශේෂඥයන්ගේ මතය.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued... 



#DOE






No comments:

Post a Comment