Friday, October 16, 2020

ඇඩ්‍රටික්ලිට් බුලාෆා (Adratiklit boulahfa)


ගතවන සෑම පැයක් පාසාම ෆොසිල විද්‍යාවේ යාවත්කාලීන වීම් වලට එක්වන නවතම විශේෂ අතරට එකතු වෙන්නෙ ස්ටෙගොසෝරියා උප ගෝත්‍රයට අයත්වන නව විශේෂයක්. ස්ටෙගොසෝරයා උප ගෝත්‍රවයට අයත් ඩයිනෝසරයන් ජීවත් වන්නෙ ජුරැසික් අවධිය තුල. බ්‍රිතාන්‍යය ස්වභාව විද්‍යා කෞතුකාගාරයට අයත් ෆොසිල විද්‍යාඥයන් කණ්ඩායමක් මෙම සොයාගැනීම සිදු කරන්නෙ මොරොක්කෝ රාජ්‍ය තුලින්. ඔවුන් මේ ස්ටෙගොසෝරියා උප ගෝත්‍රයට අයත් නව ගනයක් සහ විශේෂයක් නම් කරනු ලබනවා සොයාගනු ලබන ෆොසිල ආධාරයෙන්. 
 
ෆොසිල සොයාගත් ප්‍රදේශය
 
Adratiklit boulahfa (ඇඩ්‍රටික්ලිට් බුලාෆා) ලෙස තමයි විශේෂය නම් කරන්නෙ, අර්ථය 'කඳුකර උරගයා'. එනයින් ස්ටෙගොසෝරියා උප ගෝත්‍රය තුලට එකතුවන නව ගනය වන්නෙ Adratiklit ගනයයි. මේ නව සොයා ගැනීමේ විශේෂත්වයන් දෙකක් තිබෙනවා. පලවෙනි එක තමයි මේ විශේෂය තමයි උතුරු අප්‍රිකාවෙන් සොයාගනු ලබන පලමු ස්ටෙසෝරියා උප ගෝත්‍රයට අයත් ඩයිනෝසර විශේෂය. දෙවන කරුණ තමයි දැනට ලෝකයේ විවිධ ප්‍රදේශ තුලින් හමුව ඇති ස්ටෙගොසෝරියාවන් අතරින් පැරණිතම විශේෂ මෙය වීම. 
 
නව විශේෂයේ ප්‍රතිනිර්මාණයක්

ෆොසිල විද්‍යාව තුල මෙතෙක් ස්ටෙගෝසෝරියාවන් හමුව ඇති කාල පාසය වසර මිලියන කිහිපයක් පිටුපසට ඇදීමට සමත් වෙනවා මේ නව සොයා ගැනීම. වසර මිලියන 168 පමණ පෙර තමයි මේ විශේෂය මිහිමත ජීවත් වන්නෙ. 
 

ෆොසිලයේ කොටස්
 
වසර මිලියන 168 පෙර පෘථෘවිය තුල තිබුනෙ මහද්වීප දෙකයි. එකක් ගොන්ඩ්වානා මහද්වීපය, අනෙක ලොරේශියාව. සාමාන්‍යයෙන් ස්ටෙසෝරියාවන් අයත් තයරියාෆොරන් ඩයිනෝසරයන් වැඩි වශයෙන් හමුවන්නෙ ලොරේශියාව තුලින්. නමුත් ඇඩ්රටික්ලිට් හමුව තිබෙන භූ සංකීර්ණය අයත් වන්නෙ ගොන්ඩ්වානා සම්භවයට. ඒ නිසා තයරියාෆොරන් ඩයිනෝසරයන්ගේ පැතිරීම පිළිබඳව මෙතෙක් තිබුනු මත යම්කිසි අපගමනයකට ලක්වීමක් සිදුවෙනවා මේත් සමඟම. ඒකට හේතුවක් විදිහට සලකන්න පුළුවන් කාරණයක් තමයි ෆොසිල විද්‍යාව තුල වර්තමානය තෙක් වැඩි වශයෙන් ගවේශනයට ලක්ව තිබෙන්නෙ ලොරේශියන් සම්භවය සහිත භූ සංකීර්ණ වීම. ගොන්ඩ්වානා භූ සංකීර්ණ තවමත් ගවේශනය වී ඇත්තෙ ඊට සාපේක්ෂව අඩු වශයෙන්.

කෙසේ නමුත් මේ ගතවන්නෙ ෆොසිල විද්‍යාවේ ස්වර්ණමය අවධිය. ඉදිරියේදි තවත් නව ඩයිනෝසර විශේෂ ගනනාවක් එලිදැක්වෙනු ඇති. 

(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)




#DOE




No comments:

Post a Comment