Wednesday, October 14, 2020

ඇල්ෆා පසු විපරම (A review for Alpha)


ඇල්ෆා චිත්‍රලටයේ විද්‍යාත්මක හා ඓතිහාසික නිරවද්‍යතාව ගැන බොහෝ අය අහපු නිසා ඒක ගැන චිත්‍රපටයආපු දවස්වල වෙනත් තැනක මම ලියපු රිවිව් එකක් මේ පිටුවෙත් අලවනවා. චිත්‍රපටයක් විදිහට ඇල්ෆා බලපු අය මේක කියවන්න එපා, නිරවද්‍යතාව හොයන අය ඉන්නවනන් කියවන්න. 
 
ඇල්ෆා චිත්‍රපටයේ පෝස්ටරයක්

ඇල්ෆා කියන්නෙ ඇත්තටම හොඳ චිත්‍රපටයක්. හැබැයි විද්‍යාත්මක නිරවද්‍යතාවන් සලකා බැලුවම ගැටලු සහගත තැන් කිහිපයක් තියෙනවා.

සාරංශ කරලා කරුණු වශයෙන් හොඳ පැති සහ නරක පැති දැම්මොත්

* ඇල්ෆා එකේ සොලුට්ට්රියන් සංස්කෘතිය සෑහෙන දුරකට නිරවද්‍යතාවකින් ඉදිරිපත් කර තිබෙනවා. ඇඳුම් ආයිත්තම් එහෙම පොඩි නිදහසකින් නිර්මාණය කරලා තිබ්බ⁣ට වසර 20000 කට කලින් විතර ඉහල පැලියෝලිතික යුගයේ යුරෝපයේ තිබුන සොලුට්ට්රියන් සංස්කෘතිය ඒ හා සමාන අයුරකින් තමයි  පුරාවිද්‍යාවෙදි ප්‍රතිනිර්මාණය කරන්නෙ. 

* චිත්‍රපටයේ පෙන්වන ගල් ආයුධ නිපදවීමේ තාක්ෂණය සොලුට්ට්රියන් තාක්ෂණය සෑහෙන නිරවද්‍යතාවකින් ඉදිරිපත් කරනවා.

*  CGIs ඉතාමත් ඉහල තත්වයක තියෙනවා.

* සොලුට්ට්රියන් සංස්කෘතියේ කාල රාමුව වසර 20000 - 15000 අතර. හැබැයි මේකෙ පෙන්වනවා එක අවස්ථාවකදි "කෘපාන දන්තී බිළාලයෙකුගෙ" (sabre toothed cat) ප්‍රහාරයක්. මේකෙ විශේෂය ගොඩක් අය sabre toothed tiger එහෙම නැත්තන් කෘපාන දන්තී ව්‍යාඝ්‍රයෙකු (smilodon) ලෙස පැවසුවත් කෘ.ද ව්‍යාඝ්‍රයන් යුරෝපයේ හිටියෙ නෑ, S.fatalis/ S.populator / S.gracilis විශේෂ හිටියෙ උතුරු ඇමරිකාවේ. එයාලා බෙරින්ගියාව හරහා සංක්‍රමණය වූ බවට සාධක නෑ. ඒ නිසා මේ ස්මයිලඩොන් කෙනෙක් නෙවෙයි. ආසන්නතම අනුමානය තමයි වෙනත් කෘපාන දන්තී බිළාලයෙකු වෙන හෝමෝතීරියම් (scimitar toothed cat) විශේෂයක් වෙන්න පුළුවන් කියන එක. හෝමෝතීරියම්ලා යුරෝපයේ හිටියා හැබැයි සොලුට්ට්රියන් සංස්කෘතිය තිබෙන අවධිය වෙනකොට ඔවුන් වඳවෙලා ගිහින් ඉවරයි (28000 Ybp) , එතන වසර 8000 ක ගැප් එකක් කිබෙනවා. ඒ නිසා චිත්‍රපටයේ ඒ රූපරාමුව මට අනුව විය නොහැක්කක්.

* සුනඛයන්ගෙ පූර්වජයා අලු වෘකයා ( පිලිගත් ප්‍රසිද්ධ මතය, වෙනත් මත ඇත) කියන කොටස නිවැරදි , හැබැයි ඒක වුනේ ඔහොම නෙවෙයි. ඒක වසර දහස් ගානක ක්‍රියාවලියක්. ඒ නිසා dog domestication = Alpha වැරදී. 

* ඒකෙ තියෙනවා කෝට්ටක් විසි කරාම ගේන එක, කමාන්ඩ්ස් වලට අවනත වෙන කෑලි වගේ එව්වා. ඒවා සත්ව විද්‍යාත්මකව වැරදී. බල්ලෙක්ට කමාන්ඩ්ස් වලට අවනත වෙන්න පුළුවන් වුනාට වෘකයෙක්ට ඒක කරන්න බෑ. ඒ සරලවම ඒ කමාන්ඩ් එක තේරුම්ගන්න එයාලට බැරි නිසා. උතුරු අර්ධගෝලයේ කොනටම වෙන්න තියෙන වෘක සංරක්ෂණ මධ්‍යස්ථානයකදි මම අධ්‍යනය කරලා තියෙන දෙයක් තමයි අතින් යමක් පෙන්නුවම ඒ දිහා බලන්න සුනඛයන්ට හැකියාව තිබුනට වෘකයන්ට එසේ නොමැති බව. එහෙම කරන්න එයාලා හැදිලා නෑ. වෙන විදිහකින් කිව්වොත් ඒ වගේ දේවල් කරන්න හැකියාව ලැබෙන විද්‍යුත් පරිපථය සුනඛයා කියන යන්ත්‍රය තුල තිබ්බට වෘකයා කියන යන්ත්‍රය තුල එහෙම පරිපථයක් නැහැ. දීර්ඝකාලීන ගෘහස්ථකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි සුනඛයාට එහෙම හැකියාවක් ලැබෙන්නෙ. ( දැන් යුටුබ් එකෙන් වෘකයො අවනත වෙන කෑලි ගෙනත් අලවන්න එපා, ඒවා තියෙනවා කියලා මම දන්නවා, ඒ සෑහෙක කාලයක් ප්‍රැක්ටිස් කරවීම නිසා ලැබෙන අවනත වීමක් හෝ ව්‍යතිරේකයන්)

* බයිසන් දඩයමේ තාක්ෂණය වැරදී.  ඒ මෙතඩ් එක භාවිතා කරලා තියෙන්නෙ එහෙම නෙවෙයි වෙනස් විදිහකට. 

* වනගත වෘකයෙක් කවදාවත් මිනිහෙක්ට අත තියන්න ඉඩ දෙන්නෙ නෑ මොනම හේතුවකටවත් සහා අබාධිත වෘකයෙක්ව රැළ තනිකරලා යන්නෙ නෑ. (වෘකයන් සමඟ තිබෙන අත්දැකීම් වලින් ඒ කෑල්ල දන්නවා.)

හැබැයි එකක්, අර ඔයිට කලින් ආපු 10000 BC කියන තනිකරම විකාරරූපී චිත්‍රපටයට වඩා යම්කිසි නිරවද්‍යතාවක් තියෙන චිත්‍රපටයක් තමයි ඇල්ෆා.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



No comments:

Post a Comment