Wednesday, October 14, 2020

යුධ හස්ථීන් (War Elephants)


අලින්ව යුධ කටයුතු සඳහා යොදා ගත්තා දෙවන ලෝක සංග්‍රාමය වෙනකන්ම. සාපේක්ෂව නවීන කැනන් තුවක්කු එහෙම අලින්ගෙ පිටේ මවුන්ට් කරපු අවස්ථාත් තියෙනවා පලමු සහ දෙවන ලෝක සංග්‍රාම වලදි. ආවේගශීලි බව, පුහුණු කිරීමට ඇති පහසුව, බුද්ධිමත් බව එහෙම එක් එක් රටවල්, ප්‍රදේශ අනුව අලින්ගෙ වෙනස් වෙනවා. ඒ ඔවුන් ජීවත් වන පරිසරය අනුව ඔවුන්ට ලැබෙන විවිධ පුහුණුව. නිකන් උදාහරණයකට අපි අප්‍රිකානු විශේෂ දෙකයි ආසියානු විශේෂයයි සැසඳුවොත් අප්‍රිකානු හාදයො ඉතාමත් ආවේගශීලියි. හේතුව තමයි ආසියාව වගේ නෙමෙයි ඔවුන් ජීවත්වන පරිසරය තුල ඔවුන්ව ගොදුරු කරගන්න ඉන්න විලෝපිකයො වැඩී. ලංකාවේ ඉන්න අලි ගත්තොත් වසර දහස් ගානක්ම විලෝපික උවදුරු වලින් තොරව පරිණාමය වුන විශේෂයක්. ඉතින් ඔය වගේ ලක්ෂණ අනුව යුද්ධ වලට වැඩියෙන් තෝරගත්ත අලි කාණ්ඩ ඉන්නවා.

ක්‍රි.පූ 264 දි විතර ආරම්භ වුන පියුනික් යුද්ධ වලදි වොර් එලිෆන්ටස් එහෙම නැත්තන් යුධ හස්ථීන් සෑහෙන තීරණාත්මක සාධකයක් වෙලා තිබුනා. පියුනික් යුද්ධ වලදි කාර්තේජියන්වරු භාවිතා කරපු සබ් සහරා උප විශේෂයක් (Loxodonta africana pharohensis) හිටියා කියලත් මතයක් තියෙනවා,. ඒ උප විශේෂව වර්තමානයේදි වඳ වෙලා ගිය විශේෂක් ලෙස සඳහන් වෙනවා. ක්‍රි.පූ 218 දි හැනිබල් බර්කා දෙවන පියුනික් යුද්ධයේදි මේ සන්නද්ධ යුධ ඇතුන් සමඟ ඇල්ප්ස් කඳු වැටිය තරණය කර රෝමයට පහර දීමට පැමිණීම අදටත් යුධ ඉතිහාසය තුල විශ්මයක් ලෙස සැලකෙනවා. හැනිබල්ගෙ පියා හැමිල්කාර් බර්කා ඊට පෙර පැවති පලමු පියුනික් යුද්ධයේදිත් මේ යුධ ඇතුන්ගෙන් තම සේනාවන් සන්නද්ධ කරනවා. නමුත් කාර්තේජියන්වරු පියුනික් යුද්ධ පරාජය වනවාත් එක්කම මේ දියුණු අප්‍රිකානු ශිෂ්ඨාචාරය බිඳ වැටෙනවා.

ඩේරියස්, සර්ක්සීස් (300 චිත්‍රපටයේ තර්මොපයිලි සටනේ පර්ශියානු සේනාව මෙහෙයවන අධිරාජ්‍යයා) වොර් එලිෆන්ට්ස්ලා නියමාකාරයෙන් යොදාගත් පාලකයන්. ඒ වගේම ඇලෙක්සැන්ඩර්ගෙ සේනාවට ලංකාවෙන් අලි ඇතුන් ලබාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න අලි මේ යුද්ධ කටයුතු වලට පුහුණු කිරීම සහ මෙහෙයවීමේ පහසුවත්, බුද්ධිමත් බවත් නිසා විවිධ රටවලින් රැගෙන ගොස් තිබෙනවා.

යුධ හස්ථින්ව මුලින්ම භාවිතා කරේ ඉන්දියාව තුල බවයි පුරාවිද්‍යාවෙ පිලිගැනීම. සෘග්වේදයේ සඳහන් වෙන පරිදි දේව සභාවේ නායක ඉන්ද්‍රගේ එක් වාහනයක් තමයි ඓරාවණ හස්ථියා. මහාභාරතය කියවලා තියෙනවනන් මතක් වෙයි කෞරව සේනාවේ ධෛර්ය වැඩි කිරීමට දුර්යෝධන අැතෙකු පිට නැගී සටනට පිවිසෙන ආකාරය. සේනාවක හස්ථින් තැබිය යුතු ආකාරය ගැන නිකාය සහ විනය පිටක තුලත් ඇතුලත් වෙනවා. සංයුක්ත නිකායේ සඳහන් වෙනවා හතාරෝහ ගාමණි නැමැති ප්‍රධානියකු බුදුන් හමුවීමට පැමිණෙන අයුරු ගැන. හතාරෝහ ගාමණී කියන්නෙ සේනාවන්ට සන්නාහක හස්ථි සැපයීම වෘත්තිය කරගත් කුලයකට අයත් ගමක ප්‍රධානියාට.

මඝධ අධිරාජ්‍ය ප්‍රසාරණ කල බිම්බිසාර සේනාවන්ගෙ ඉතා විශාල මෙහෙයක් ඉටුකලේ හස්ථි සේනාවන්. නන්ද අධිරාජ්‍ය පැවති අවධියේ මහාපද්ම නන්ද සතු දෙලක්ෂකට වඩා වැඩි පිරිස් බලයෙන් යුතු මහා සේනිවේ හස්ථි බලඝනය 6000 පමණ වු බව ග්‍රීක ඉතිහාසඥ ප්ලූටාර්ක් සහ රෝම ඉතිහාසඥ ප්ලීනි සඳහන් කරනවා. හිමාචල් ප්‍රදේශ්හි බියාස් නදිය අසබඩදි නන්ද සේනාවන්ට ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ සේනාවන් හමුවෙනවා. නමුත් දෛව්‍ය හරස් වීම නිසා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා හෝ නන්ද අධිරාජ්‍යන් ගැටීම වෙනුවට ඇලෙක්සැන්ඩර් හමුදාවන් නැවත පසුබසිනවා. ඒ ගැටීම සිදුවුනානම් සිදුවන විපර්යාසය මත අද පවතින ලෝක භූ දේශපාලනික සිතියම මීටත් වඩා සෑහෙන වෙනස් වීමට තිබුනා.

චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජය්‍යාගෙ ලක්ෂ 6 කට අධික පිරිස් බලයකින් යුතු සේනාව තුල හස්ථි බලඝනය ඇතුන් 9000 පමණ සමන්විත වු බව ප්‍රකාශ වෙනවා. චන්ද්‍රගුප්තගෙ ආරක්ෂක කමිටුව 30 දෙනෙකුගෙන් සමක්විතයි. එය කොටස් හයකින් යුක්තයි. සවැනි කොටසට කියන්නෙ ගජාධ්‍යක්ෂ. ගජාධ්‍යක්ෂ කියන්නෙ ඇත් සේනාවේ නායක.
 
සන්නද්ධ කරවූ ඇතෙකුගේ අනුරුවක්
 
මේ ඉහල ඡායාරූපයේ තියෙන්නෙ දිල්ලි කෞතුකාගාර⁣යේ ප්‍රදර්ශනය කරන සන්නද්ධ ඇතෙක්. මේක කොච්චර දරුණු අවියක්ද කියලා හිතාගන්න පුළුවන් එකම ක්‍රමය මේ වගේ සන්නද්ධ හස්ථියෙක් චාර්ජ් කරගෙන එන හැටි නැරඹීමෙන්. ඒ වගේ අධි වේගයකින් සිදුකරන චාර්ජ් එකකදි මේ වගේ අලියෙක් මවුන්ට් කරලා ඉන්න ගමන් දුනු, ඊතල, තුවක්කු භාවිතයත් වෙනම සෙල්ලමක්. විජිතපුර සටන යන අවස්ථාවෙදි එළාර උදව් ඉල්ලන්නෙ දීඝජන්තු සෙනවියාගෙ බෑණා වන භල්ලුකගෙන්. භල්ලුක ලක්දිවට ගොඩබැස ඇරඹෙන සටනෙදි කණ්ඩුල පිට සිටින්නේ ගැමුණු රජ සහ ථුස්සදේව. ථුස්සදේව කණ්ඩුල පිට සිට යවන හී සැරයකින් භල්ලුක මරණයට පත්වන බව සඳහන් වනවා. හී පහර වදින භල්ලුක ව⁣ටෙන්නෙ රජු දෙසට පයලා බව දකින ථුස්සදේව දෙවන හී පහරක් විද රජු දෙසට හිසලා වැටෙන ලෙස භල්ලුකව මරණයට ලත් කල බව සඳහන් වෙනවා. මේකෙදිම කියනවා ථුස්සදේවගෙ හී සැරය ගැමුණුගෙ කන තුවාල කරමින් ගමන් කල බවත් යුද්ධයෙන් පසුව ථුස්සදේව තමන්ගෙ කන කපා ගනිමින් රජුගෙන් සමාව ගත් බවත්. අතිශයෝක්තීන් පසෙකලු විට වේගයෙන් ගමන් කරන යුධ හස්තියෙකුගෙ පිට සිට නිවැරදි ඉලක්කය ගැනීම කොතරම් අපහසුද යන්න මේ රජතුමාගේ කන තුවාල වු කතාවෙන් තේරුම්ගන්න පුළුවන්.

කණ්ඩුල විසින් විජිතපුර සටනෙදි එළාර රජුගෙ හස්ථියා වන පර්වතට ඇන බිම හෙලද්දිම ගැමුණු විසින් එළාර ඝාතනය කල බව වංශ කතාවල සඳහන් වෙනවා.

පහත ඉන්න යුධ හස්ථියාව දැක්කම ඉතිහාස පිටු වලින් තැනින් තැන මතක් වුන උදාහරණ කිහිපයක් පමණක් ගෙන කතා කරත් දින ගනනක් කතා කරන්න පුළුවන් මාතෘකාවක් තමයි අලි කියන්නෙ. සංවිධිත ආකාරයෙන් රචනා නොකල සටහනක් වුනත් ඔබ මෙයින් යමක් ඉගෙන ගන්නට ඇති කියා හිතනවා.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment