Saturday, October 17, 2020

ඔස්ට්‍රලෝපිතෙකස් අනාමෙන්සිස් සුවිශේෂී සොයාගැනීම (The great discover of Australopithecus anamensis complete skull)


2019 අගෝස්තු 29 දින භෞතික මානව විද්‍යා ක්ශේත්‍රය තුලින් ඉතාමත් සුවිශේෂී සොයාගැනීමක් ලෝකයා හමුවේ තැබුවා. ඒ තමයි මානව පරිණාමික වෘක්ෂය තුල අතුරු ශාඛාවකට අයත් යැයි මෙතෙක් හඳුනාගෙන තිබු ඔස්ට්‍රලෝපිතෙකස් අනාමෙන්සිස් විශේෂයට අයත් සම්පූර්ණ කපාල ෆොසිලයක් ප්‍රථම වතාවට සොයාගැනීම ප්‍රකාශයට පත් කිරීම.

අනාමෙන්සිස් කපාල ෆොසිලය

අදින් වසර මිලියන 3.2 - 4.2 අතර කාලය තුල ජීවත් වූ ඔස්ට්‍රලෝපිතෙකස් ගනය කියන්නෙ මානව පරිණාමයේ ඉතාමත් සුවිශේෂී සංධිස්ථානයක්. ඔස්ට්‍රලෝපිතෙකස් ගනයට අයත් විශේෂ කිහිපයක් මේ කාල වකවානුව තුල අප්‍රිකානු ග්‍රෙට් රිෆ්ට් නිම්න භුමිය තුල ජීවත්ව තිබෙනවා. ඒ අතරින් ඔස්ට්‍රලෝපිතෙකස් අෆාරෙන්සිස් , ඔස්ට්‍රලෝපිතෙකස් ඇෆ්රිකානස්, ඔස්ට්‍රලෝපිතෙකස් අනාමෙන්සිස්, ඔස්ට්‍රලෝපිතෙකස් බාරෙල්ගේසලි, ඔස්ට්‍රලෝපිතෙකස් ගාරි භෞතික මානව විද්‍යාව තුල පිලිගත් විශේෂයන්. ඒ වගේම ඔස්ට්‍රලෝපිතෙකස් ඩෙරිමිඩා නැමැති විශේෂයක් මේ වන විට පර්යේෂණ මට්ටමේ අප්‍රකාශිත විශේෂයක් වශයෙන් හඳුන්වනු ලබනවා.


අනාමෙන්සිස් ප්‍රතිනිර්මාණ

ඔස්ට්‍රලෝපිතෙකස් ගනයේ පෙර සඳහන් කල සාමාජිකයන් අතරින් ඔස්ට්‍රලෝපිතෙකස් අනාමෙන්සිස් විශේෂයට අයත් සම්පූර්ණ කපාලයක් මෙතෙක් හමුව තිබුනේ නෑ. මේ ඉතාමත් විරල ෆොසිලය එවන් සම්පූර්ණ අනාමෙන්සිස් කපාලයක්. MRD ලෙස කේතගත කර ඇති මේ කපාලය අයත් අනාමෙන්සිස් විශේෂය ඉතාමත් ප්‍රසිද්ධ ලූසී ෆොසිලය අයත් ඔස්ට්‍රලෝපිතෙකස් අෆාරෙන්සිස් විශේෂයේ පූර්වජයෙකු ලෙස සලකනු ලබනවා. මේ පසුව එළඹෙන අෆාරෙන්සිස් විශේෂය තමයි තවත් පසුකාලීනව අප අයත් හෝමෝ ගනය ඇති වීමට මුල් වු පූර්වජ විශේෂ ලෙස සලකනු ලබන්නෙ.

ෆොසිලය ආශ්‍රයෙන් සිදුවූ ප්‍රතිනිර්මාණය

මේ සොයාගත් කපාලය අයත් වන්නෙ පිරිමි සමාජිකයකු බවට තමයි සඳහන් වෙන්නෙ. මරණයෙන් පසු මේ කපාලය එවක පැවති ගංගාවක් මඟින් ගසාගෙන අවුත් තැන්පත් වී ෆොසිලගතව ඇතිබව මේ විද්‍යාඥ කණ්ඩායම සිය ප්‍රකාශනයේ සඳහන් කරනවා. 

අනාමෙන්සිස් කපාල ෆොසිලය

ඔස්ට්‍රලෝපිතෙකස් ගනයේත් මුල් සාමාජිකයෙක් වන අනාමෙන්සිස් පසු අවස්ථාවක එළැඹුනු අෆාරෙන්සිස් ගනය ජීවත්වු සමය වසර 100000 පමණ අතිඡ්ඡාදනය කරනු ලබනවා. ඒ අනුව රේඛීය පරිණාමයක් නොව අතු බෙදී විහිදී යන ප්‍රසාරිත පරිණාමය පිළිබඳව මතය මෙම සොයාගැනීම තුලින් තවත් තහවුරු වෙනවා. සරලව එක් විශේෂයක් සම්පූර්ණයෙන් නැතිවු පසු එළඹෙන විශේෂක් ලෙස නොව පූර්වජ විශේෂයත්, දුහිතෘ විශේෂයත් එක් සමයක් තුල ජීවත්වන සමාන්තර සමයක පැවැතීම මේ පරිණාමික ක්‍රියාවලිය තුල දකින්න පුළුවන් ලක්ෂණයයක්. 

2019 වසරේ භෞතික මානව විද්‍යා ක්ශේත්‍රය තුල මෙතෙක් සිදුවු දෙවන විශාලතම සොයාගැනීම ලෙස මෙය සඳහන් කරන්න පුළුවන්. හෝමෝ ලුසොනෙන්සිස් ප්‍රකාශනය මාස කිහිපයකට පෙර එලිදැක්වු පසු අනාමෙන්සිස් සොයාගැනීම ඉතාමත් වැදගත් සංධිස්ථානයක්.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)




#DOE




No comments:

Post a Comment