'පරිණාමය' ඉතාමත් බරපතල සංකල්පයක්, ඔප්පු කිරීමට නොහැකි වාදයක්, තේරුම් කිරීමට නොහැකි විද්‍යාත්මක මතයක් ආදී විවිධ මතිමතාන්තර තුල පවතින්නේ ස්වභාවධර්මය තේරුම් ගැනීමට අපෝහසත් වීමත් එය නිසියාකාරව විස්තර කිරීමට ක්ශේත්‍රයේ නියැලී සිටින්නන් අපෝහොසත් වීමත් යන කරුණු බව මම විශ්වාස කරනවා.
'වෙනස්වීම/ගතික බව' යන කරුණ ගැන සුළු අවබෝධයක් පැවතීමත් පරිණාමය තේරුම් ගැනීමට ප්‍රමාණවත්. ඒ ප්‍රවේශය ගත්තෙ ලියන්නට යන උදාහරණය ඔස්සේ මේ කාරණාව ගෙනහැර දැක්වීමට.
ඔබ දැනටමත් දන්නවා ඇති අප ජීවත්වන පෘථෘවිය නැවතත් ක්‍රමිකව ඇදෙමින් පවතින්නෙ උණුසුම් දේශගුණික තත්වයනට බව (ඒ ගැනත් දන්නෙ නැත්තන් විවිධ දේශපාලකයින්ට කඩේ යන එකට වගේ දෙන කාලයෙන් විනාඩි කිහිපයක් අරන් ඒ සම්බන්දයෙන් කියවන්න). මීට වසර 11650 පමණ පෙරදි ප්ලයස්ටොසීන යුගය නිමාවට පත්වෙනවා. ප්ලයස්ටොසීන යුගයෙදි ලෝකය පැවතුනෙ අවසන් හිම යුගය තුල. ධ්‍රැවාසන්න ග්ලැසියර කලාප සිය ධවල වර්ණ හිම වැස්මන් ප්‍රසාරිත කරමින් ඔබ අද දකින ආර්ක්ටික් වෘත්තය අභිබවමින් මධ්‍ය අක්ෂාංශ වලට සමීප වන තෙක්ම පෘථෘවිය හිම කලාප බවට පත් කරනවා. අපි මේකට කියනවා හිම යුගයක් කියලා. විද්‍යාත්මකව හඳුන්වන්නේ ග්ලැසියර යුගයක් කියලා.
ප්ලයස්ටොසීනය අවසන් වනවාත් සමඟම නැවත පෘථෘවිය ක්‍රමයෙන් උණුසුම් දේශගුණික තත්වයනට සීරුමාරු වෙනවා. ඒ සම්පූර්ණ ක්‍රියාවලියේ මධ්‍ය කොටසක තමයි ඔබත් මමත්, ඔබේ පෙර පරම්පරාවනුත් ජීවත් වුනේ , ජීවත් වෙන්නෙ. ඉදිරි පරම්පරා මීටත් වඩා උණුසුම් තත්වයන් වෙත ගමන් කරනවා. පාථෘවිය නැවත උණුසුම් වෙද්දි හිම යුගයන් තුල විහදාලු ග්ලැසියර වැස්මන් නැවත උතුරු අර්ධගෝලයේ අවසන් කෙලවර දක්වා පසුබැසීම ඇරඹෙනවා. ඔබ ඇතැම්විට දකින්නට ඇති අයිස්ලන්තය ඔවුනට සම්පූර්ණයෙන් අහිමිවු පළමු ග්ලැසියරයට අවසන් බුහුමන් දක්වන අයුරු. ඒ තමයි නැවත උණුසුම් වෙන පෘථෘවිය.
මේ විදිහට නැවත පාථෘවිය උණුසුම් වෙනවා කියන්නෙ පසුගිය වසර මිලියනක පමණ කාලය තුල පරිණාමය වු සත්ව සන්තතීන්ගෙන් ඇතැමුන්ගෙ නශ්ඨවීම. වෙනස්වන පරිසරයට අනුවර්තනය වෙන්න ඔවුනට හැකිනම් ඔවුන් ජයග්‍රාහකයින්, තවත් කාලයකට ඔවුනට පෘථෘවි තලය මත දිවි ගෙවිය හැකියි. මේ ජීවන අරගලය වැඩි වශයෙන් දැනෙන්ට ගන්නෙ හිම කලාපයන් තුල ජීවත් වූ සතුන්ට.
මේ කතාවේ කතා නායකයා තමයි හිම වලසුන්. හිම වලසුන් කියන්නෙ ආර්ක්ටික් පරිසර පද්ධතීන් තුල විශේෂඥයන්. ද්විත්ව වැස්මක් සහිත ලොම් ආවරණය, පිහිනීමට ඇති හැකියාව, පිහිනීමට අනුවර්තනය වු බැඳි පාද, හිම සමඟ වේශාන්තරණය වීම සඳහා ධවල වර්ණය ආදී විවිධ අනුවර්තන සහිත මේ සත්වයන් ආර්ක්ටික් කලාපවලට අනුවර්තිත ආවේණික විශේෂයක්. ග්ලැසියර දියවීමත් සමඟම මොවුන්ගෙ නිජබිම් අහිමි වීම සිදුවෙනවා.
මේ ග්ලැසියර් කලාපයනට යාබදව පිහිටන සෞම්‍ය කලාප තුල ජීවත් වෙනවා හිම වලසුන්ගේ පරිණාමිකව ලඟම ඥාතියා වන ග්‍රිස්ලී වලසුන්. ග්‍රිස්ලී වලසුන් ලඟම ඥතියා වුනාට ස්වාභාවය වෙනස්. වර්ණයෙන් දුඹුරු වර්ණය, ප්‍රමාණය හිම වලසුන්ට වඩා මඳක් විශාලයි. ලොම් ආවරණය වෙනස්. හිම වැස්ම පසුබසිද්දි ග්‍රිස්ලී වලසුන්ට සැරිසැරිය හැකි බිම් ප්‍රමාණයන් ප්‍රසාරණය වෙනවා. පෙර හිම බාධකයක් වූවත් මේ වෙද්දි ඒ බාධකය පසු බැහැලා සෞම්‍ය කලාපික බිම්කඩවල් නිරාවරණය වෙමින් පවතිනවා.
මේ වෙද්දි සිදුවන්නෙ ආක්‍රමණ සහ සංක්‍රමණ. නිජබිම් අහිමි වුවාට දඩයම් සොයාගැනීමට හිම රහිත කලාපයන් තුල සැරිසරන හිම වලසුන් සහ නව බිම් නිරාවරණය වීමත් සමඟ නව පාරිසරික නිකේතන ලැබුනු ග්‍රිස්ලී වලසුන් යන කාණ්ඩ දෙකම එකම බිම් කඩක් තුල සැරිසැරීම.
සිත්ගන්නාසුළු කාරණය තමයි මේ විශේෂ ද්විත්වය ස්වාභාවික පරිසර තත්ව තුල මුහුම්කරණයට ලක්වීම. ප්‍රතිඵලය තමයි අර්ධ හිමවලස් ජාන සහ අර්ධ ග්‍රිස්ලී ජාන සහිත වලසුන්. ඔවුන් හඳුන්වන්නේ 'ග්‍රොලාර් බෙයාර්ස්' ලෙස. පොලාර් බෙයාර් + ග්‍රිස්ලි = ග්‍රොලාර් බෙයාර්.
ස්වාභාවධර්මය නැවත නැවතත් සිදුකරන පර්යේෂණයක් තමයි මේ වෙන්නෙ. පාරිසරික තත්වයන් ද්විත්වයටම ඔරොත්තු දිය හැකි ග්‍රොලාර් වලසුන් සාර්ථක අඛණ්ඩව පැතිරීමක් සිදුවෙයිද? ඔවුන් නිකේතන ද්විත්යම අයිති කරගනිද ? ග්‍රිස්ලී සහ පෝලාර් යුග්මයට නොමැති කාය ශක්තියක් සහ දිවි රැකගැනීමට හැකි නව ප්‍රභේදයක් බවට ග්‍රෝලාර්වන් පරිවර්තනය වෙයිද ? මේවා තවමත් පිළිතුර නොමැති ප්‍රශ්න. නමුත් එළඹෙන සියවස තුල මේවාට පිළිතුර ලැබෙනු අැති. ස්වාභාවධර්මයේ පර්යේෂණය සාර්ථක වූවත් සාර්ථක නොවූවත් ඔබ මේ දකින්නෙ වෙනස්වන පෘථෘවිය සමඟ වෙනස් වීමට වෙර දරන ජීවය. මේ තමයි අතිශයින්ම සරලව පරිණාමය ලෙස හඳුන්වන්නේ.
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment