Thursday, October 29, 2020

සමනලුන්,කුහුඹුවන් සහ බැටලුවන් (Butterflies, Ants and Sheeps)

 
පරිසර පද්ධති තුල ජීවත්වන සත්වයන් සියල්ලේම හැසිරීම් රටා, ක්‍රියාකාරකම් සහ පැවැත්ම කියන කාරණා එකිනෙකට බද්ධව පවතින්නේ ඉතාමත් සංකීර්ණ ආකාරයට. ඇතැම් පද්ධති බිඳ වැටෙන්නෙ කුමන කාරණා නිසාද යන්නට තේරුම් ගැනීමට පවා අපහසු වන්නෙ, කල් ගතවන්නෙ මේ සංකීර්ණ අන්තර් සබඳතා නිසා.

ලාර්ජ් බ්ලු (large blue) විද්‍යාත්මකව (Phengaris arion) නමින් හඳුන්වන සමනල් විශේෂය කියන්නෙ බ්‍රිතාන්‍ය තුල අතිශයින්ම දුර්ලභ සමනල් විශේෂයක්. ලාර්ජ් බ්ලු සමනලුන්ව මුල් වරට හඳුනාගන්නෙ 1758 වර්ශයේදි. වර්තමානයේදි යුරෝපයේ කොකැසස් කලාපය දක්වා මොවුන්ගෙ විහිදීම දකින්න පුළුවන් වුනාට බ්‍රිතාන්‍ය තුල 1979 දී පමණ වඳව ගිය විශේෂයක් ලෙස නම් කරන්නෙ. නැවත බ්‍රිතාන්‍යට හඳුන්වා දුන් පසුව යම් සාර්ථකත්වයක් සහිතව මේ සමනලුන් පැතිර තිබුනත් තවමත් IUCN රතු දත්ත වාර්තාවල මොවුන්ව ගොනු කරන්නෙ වඳව යෑමට ආසන්න විශේෂයක් ලෙස.

ලාරජ් බ්ලු සමනලයා
 
ලාර්ජ් බ්ලුලා අයත් වන Phengaris නැමැති සමනල් ගනයේ තිබෙන විශේෂත්වය තමයි ජීවන චක්‍රයේ අවස්ථාවක් තුල පරපෝශිතතාව පෙන්නුම් කිරීම. ලාර්ජ් බ්ලු සමනලුන් Myrmica කුහුඹුවන් ජීවත්වන ප්‍රදේශයක් සොයාගෙන ගොස් ඒ අසල ශාඛයක බිත්තර දමනවා. බිත්තරයෙන් පිටතට පැමිණෙන දළඹුවා කෙටි කාලයක් ශාඛය මත වාසය කර Myrmica කුහුඹුවන් ගැවසෙන බිම මත පතිත වෙනවා.

එතැන් පටන් එළඹෙන්නෙ ඔස්කාර් සම්මානයක් ලැබිය හැකි රඟපෑමක්. මේ ලාර්ජ් බ්ලු දළඹුවන් Myrmica කුහූඹුවන්ගෙ පිලා අවස්ථාව අනුකරණය කරමින් රඟපෑමක යෙදෙනවා. පෙනුමෙන් වගේම සුවඳින් පවා ලාර්ජ් බ්ලු දළඹුවන් හැසිරෙන්නෙ Myrmica කුහුඹු පිලවුන් ලෙස. ඒ වගේම ශබ්ද නැගීමකුත් සිදුකරනවා. මේ රඟපෑමට අවට සිටින Myrmica කුහුඹු කම්කරුවන් රැවටීමට ලක්වෙනවා. ප්‍රතිඵලය තමයි කුහුඹු කැදැල්ල වෙත දළඹුවාව ඔසවාගෙන යෑම.

දළඹුවා සහ myrmica කුහුඹුවන්

කුහුඹු කැදැල්ල තුලදි දළඹුවා ගත කරන්නෙ ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක්. Myrmica කුහුඹු පිලවුන් ආහාරයට ගැනීම වගේම Myrmica කුහුඹුවන් ලෙස රඟපාමින් කුහුඹුවන්ගෙන් පෝශණය ලැබීම ආදිය සිදුකරගෙන වැඩෙන ලාර්ජ් බ්ලු පසුව සමනලයෙකු ලෙස පිටව යනවා.

ලාර්ජ් බ්ලුලාගෙ සාර්ථකත්වය තවත් එක් සාධකයක් මත රඳා පවතිනවා. ඒ තමයි බැටලුවන් සහ ගවයන්. බ්‍රිතාන්‍ය තෘණ බිම් තුල තමයි ලාර්ජ් බ්ලුලා යැපෙන Myrmica කුහුඹුවන් ජීවත් වන්නේ. මේ කුහුඹුවන්ට ජීවත් වීම සඳහා තෘණ ඉතාමත් කෙටිව පැවතීම අනිවාර්ය සාධකයක්. එහෙම නැතිවුනොත් ඔවුන් එතනින් වෙනත් ස්ථාන කරා ඇදෙනවා. ස්වාභාවධර්මය තුල මේ තණකොල කෙටිව තබා ගැනීමේ යාන්ත්‍රණය තමයි බැටලුවන් සහ ගවයන්.

ඔබට පේනවා ඇති එකිනෙකට කිසිම සබඳතාවක් නොමැති සත්ව විශේෂ ත්‍රිත්වයක අන්තර් සබඳතාව. එක් සාධකයක් මේ රාමුව තුලින් ඉවත් කරොත් දාමය බිඳ වැටීම සිදුවෙනවා. මේ සංකීර්ණ සබඳතා ජාලයක් මත තමයි පරිසර පද්ධතියක පැවැත්ම රඳා පවතින්නෙ.

'පරිසරය සුරකිමු' යන වචනවලට එහා ගිය පරිසරය පිළිබඳව හැඟීමක් සහ ඒවා රැකගත යුතු ආකාරය ගැන සබුද්ධික ලෙස සිතීමට හැකියාව ලැබීමට මේ සියුම් සබඳතා ගැන වැටහීමක් තිබිය යුතුයි. එසේත් නැතහොත් සිදුවන්නෙ save..... , protect.... , ආදි හිස්තැන් පිරවීමට නිරන්තරයෙන් වචන සොයාගැනීමේ අරගලයක යෙදීම විනා සැබෑ පරිසරය සුරකීමක් අහලකටවත් යෑමට නොහැකි වීමයි.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


Link to Facebook post --->

No comments:

Post a Comment