Wednesday, November 4, 2020

ඔටු පරිණාමය (Evolution of Camel)

 
ඔටුවා කියන වචනෙත් එක්ක සාමාන්‍යයෙන් අවලස්සන පෙනුම, මුග්ධ බව ආදී කරුණු ගෙනහැර දැක්වීමට ව්‍යවහාරය නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඔටුවා සහ කාන්තාරය එකකට එකක් වෙන් කල නොහැකි සේ බැඳී තිබෙන පද දෙකක්.නමුත් ඔබ දන්නවාද ඔටුවන්ගෙ පරිණාමික කතාව ආරම්භ වන්නෙ අධික ශිත පෙදෙස් වලින් බව ? ස්වාභාවධර්මයේ ඇතැම් උදාහරණය තිබෙනවා මුල් අවස්ථාවේ යම් යම් ව්‍යුහයන් පරිණාමය වන්නෙ ඉතාමත් සුවිසේශි කෘත්‍යන් සඳහා නමුත් පසුව මේ සත්වයන් ඊට හාත්පසින්ම වෙනස් පාරිසරික නිකේතනයක් ජය ගන්නවා පෙරකී ව්‍යුහයන්ම භාවිතා කරමින්. එක් උදාහරණයක් තමයි ටෙට්රොපෝඩා පරිණාමයේ අස්ථික මත්ස්‍ය කාණ්ඩ සාගර පතුල තුල ගමන් කිරීම සඳහා යොදාගන්න වරල්. මේ වරල් ක්‍රමයෙන් ගොඩ බිම ඇවිදීමට ඉතාමත් යෝග්‍ය ව්‍යුහයන් බවට පත්වෙනවා. එතනදිත් මූලීක අවස්ථාවේදි ඒවා ඇතිවන්නේ එක් හේතුවකට නමුත් ක්‍රමික පරිණාමයේදි හේතුව සහා නිකේතය වෙනස් වීමකට ලක්වෙනවා.
 
 
ඔටුවන් මීට වසර මිලියන 45 පමණ පෙර පරිණාමය වන්නෙ උතුරු ඇමරිකාවෙන්. ඒ වෙද්දි ලෝකයේ මහද්වීප සැකැස්ම වර්තමානයට වඩා ඉතාමත් වෙනස්. උතුරු ඇමරිකාව තුල සම්භවය වන මොවුන්ගෙන් එක් කොටසක් දකුණු ඇමරිකානු ප්‍රදේශ වෙත ගමන් කරනවා. තවත් කොටසක් මීට වසර මිලියන 3 -5 කාලයේදි (ඒ වෙද්දි මානව පරිණාමය ගත කරන්නෙ ඔස්ට්‍රලෝපිතසීනයන්ගෙ අවධිය තුල) බෙරින්ගියානු පාලම (ඇලස්කාව හරහා ආසියාව උතුරු ඇමරිකාවට සම්බන්ධ කරන ගොඩබිම් පාලම) හරහා යුරේදසියාවට ගමන් කරනවා.
 
මේ කතාවේදි දකුණු ඇමරිකානු කලාප වලට ගිය ඔටු පූර්වජයන් තමයි ඇල්පාකාස්, ලාමාස් , විකූන්‍යා ආදී විශේෂ බවට පත්වන්නෙ. බෙරින්ගියාව හරහා යුරේසියාවට පැමිණි පුරුක් තමයි වර්තමානයේදි දකින්න පුළුවන් ඩ්‍රොමෙඩරි, බැක්ට්‍රියන් ආදී ඔටු විශේෂ බවට පත්වන්නෙ.
 
ඔබට පේනවා ඇති මේ සත්වයින්ගෙ පරිණාමයේ විශාල කාලයක් ගතවන්නෙ උතුරු අර්ධගෝලයේ උතුරු කෙලවරට සමීපව බව. අධික ශිත දේශගුණික තත්වයනට ඔරොත්තු දෙන ලක්ෂණ කිහිපයක් තමයි මේද ස්ථර ගබඩාකර ගත හැක ව්‍යුහ, හිම වල නොගිලී පා තැබිය හැකි පලල් පාද, හිම කුණාට ආදියෙන් ආරක්ෂාවී දැකිය හැකි අනුවර්තිත ඇස් ආදී ලක්ෂණ. මේ ටික කියාගෙන යද්දි ඔබට වැටහෙන්න ඕන මේ ලක්ෂණ ටිකම තමයි වර්තමානයේදි කාන්තාරයට සරිලන ලෙස සකස්ව ඇති ඔටුවන්ගේත කැපී පෙනෙන ලක්ෂණ බව.
 
පෙර සඳහන් කලාක් මෙන් මේ ඇතැම් සතුන් දක්වන මූලීක අනුවර්තන පසු අවධියකදි පෙර සිටි පාරිසරික නිකේතනයට වඩා හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දරන පාරිසරික නිකේතනයක ජීවිතය ජය ගැනීමට උපකාරී වන බව. ඔටුවො කියන්නෙ වර්තමානයේදි දකින්න පුළුවන් ක්ශීරපායින් අතරින් අතිශයින්ම දුශ්කර පාරිසරික නිකේතන දික්විජය කරපු සත්ව කාණ්ඩයක්. මානව පරිණාමයෙ සමස්ථ කාලය වසර මිලියන 8 පමණ බවට සලකන්නෙ. ඔටුවන් බිහිවන්නෙ ඊට වසර මිලියන 37 පෙරදි. ඔවුන්ගෙ සමස්ථ කාලය වසර මිලියන 45 ක්. වසර මිලියන 45 අති දීර්ඝ කාල පරාසයක් අතිශයින්ම දුශ්කර පාරිසරික නිකේතන ජය ගනිමින් වර්තමානයට පැමිණ තිබෙනවා කියන්නෙ පරිණාමිකව සුපිරි ජීවී කාණ්ඩයක් බව.



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
 
 
 

#DOE


No comments:

Post a Comment