Thursday, October 29, 2020

ඉක්තියෝසෝරයන් (Ichthyosaurus)

 
2019 සැප්තැම්බරයේදී ෆොසිල විද්‍යාවෙන් වාර්තා වු නව විශේෂයක් තමයි චාඔහුසෝරස් බ්‍රෙවිෆෙමොරැලිස් (Chaohusaurus brevifemoralis) නැමැති ඉක්තියෝසෝර් විශේෂය. ඉක්තියෝසෝර්ලා ගැන #DOE තුලින් කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ ඉතාම අඩුවෙන් නිසා බ්‍රෙවිෆෙමොරැලිස්ව ප්‍රස්තූතය කරගන්නවා ඉක්තියෝසෝර්ලා ගැන පොඩි හැඳින්වීමක් සඳහා.

ඉක්තියෝසෝර් ලෙස හඳුන්වන්නෙ ඉක්තායෝසෝරියා/ඉක්තියොප්ටෙරිජියා ගෝත්‍රයට අයත් ජලජ උරගයන් විශේෂයකට. ශ්‍රීමත් රිචඩ් ඕවන් විසින් 1840 දි පමණ මේ ගෝත්‍ර නාමය හඳුන්වා දෙන්නෙ 'මත්ස්‍ය වරල් සහිත' යන අර්ථයෙන්. ට්‍රියැසික් මුල් යුගයේ සිය ක්‍රිටැසියස් අවධිය තෙක්ම සාගර තුල අණසක පැතිරවු ජීවි කාණ්ඩයක් තමයි මේ ඉක්තියෝසෝරියාවන්. ඒ කියන්නෙ ඩයිනෝසරයන් භෞමික පරිසර තුල ප්‍රචලිත වනවිට ජලජ පරිසර තුලට හැඩගැසුනු උරග කාණ්ඩයක් තමයි ඉක්තියෝසෝරයන්. ට්‍ර්යැසිකයේ සිට ක්‍රිටැසියස් දක්වා වසර මිලියන 160 කාල පරාසයක් මේ සත්වයන් මිහිමත වාසය කරනවා. මේ කාල පරාසය කොතරම් විශාලද යන්න හිතාගන්න පුළුවන් එක් නිර්නායකයක් තමයි ඩයිනෝසරයන් වඳව ගොස් තවමත් ගතව ඇත්තෙ වසර මිලියන 65 ක් යන්න.



විවිධ ඉක්තියෝසෝර් විශේෂ

ඉක්තියෝසෝරයන්ගෙ පරිණාමික ගමන් මඟ ඇරඹෙන්නෙ භෞමික වාසී උරගයෙකුගෙන්. භෞමික පරිසරයේ සිට ජලජ පාරිසරික නිකේතනය දක්වා පරිණාමය වෙමින් ක්‍රමිකව නැවතත් සාගරයට අනුවර්තනය වීමක් මෙහිදි සිදුවෙන්නෙ. මේක සමාන කරන්න පුළුවන් වසර මිලියන 55 පමණ පෙර සිදුවු තල්මසුන් පරිණාමය වීමේ සිද්ධි දාමයට. මේ සිද්ධි දෙකම සමාන්තර පරිණාමික ක්‍රියාවලි වලට උදාහරණ, ඒ වගේම මෙලෙස නැවත අාපසු සාගරයනට අනුවර්තනය වීම අපි හඳුන්වනවා 'Reverse evolution' සිද්ධියක් ලෙස.

ඉක්තියෝසෝරයන් ට්‍රියැසික් සහ ජුරැසික් මුල් භාගයට වන්නට සාගර ආහාර දාමයන්ගෙ සුපිරි විලෝපිකයන් ලෙස වැජඹුනත් පසුව පරිණාමය වන තවත් ජලජ උරගයන් කාණ්ඩයක් වන ප්ලෙසියොසෝරියාවන් හමුවෙ පසු බැසීමට ලක්වනවා. වසර මිලියන 95 කට පමණ පෙර ක්‍රිටැසියස් සාගරයන්හී ඔක්සිජන් ඌණ වීමේ සංසිද්ධියක් ඇතිවනවා (ඇස්ටරොයිඩ ඝට්ටනයට ප්‍රථම). ඒත් සමඟම විශාල සාගර ජීවීන් ප්‍රමාණයක් නශ්ඨ වීම සිදුවෙනවා. ඉක්තියෝසෝරයන්ගෙ අවසානය සනිටුහන් වන්නෙත් මේ නශ්ඨවීම් සංසිද්ධියේදි.

ඉක්තියෝසෝර් ෆොසිල අධ්‍යනය ඉතාමත් සිත්ගන්නාසුළු ක්‍රියාවලිවක්. පෙනුමෙන් ඩොල්ෆිනයකු මෙන් දිස්වුනාට අභ්‍යන්තර සැකිල්ල, අස්ථි පිහිටීම ආදිය පෙන්නුම් කරන්නෙ ජලජ ජිවිතයට හැඩගැසුනු උරගයෙකුගෙ සැකිල්ල. පාර්ශ්වීක වරල් පෘශ්ඨීය වරල් ආදිය භෞමික පරිසරයෙන් ක්‍රමිකව ජලජ තත්වයනට හැඩ ගැසීමේදි අනුවර්තනය වී ඇති ආකාරය මනා ලෙස පෙන්නුම් කරනවා.

බ්රෙවිෆෙමොරැලිස් ෆොසිලයක්
 
පරිණාමික ක්රියාවලිය තීරණය කරන එක් සාධකයක් වන තරඟකාරීත්වය තුල විවිධ පාරිසරික නිකේතන දික්විජය කිරීමට විවිධාකාර සත්ව විශේෂ දක්වන, දැක්වු උපක්රමයන් පරිණාමික දිනපොත තුලින් නිරන්තරයෙන්ම කතා බහට ලක් කෙරෙන කාරණා. මීසෝසොයික මහා අවධිය තුල සාගරය නමැති පාරිසරික නිකේතනයේ විශිෂ්ට විලෝපික තත්වය නැමැති ඇබෑර්තුව ඉක්තියෝසෝරයන් විසින් ග්රහණය කරගන්නාවා. ඒ පිරවු ඇබෑර්තුව අවසන් වන්නෙ ක්රිටැසියස් නශ්ඨවීමත් සමඟ සනිටුහන් වන මීසෝසොයිකයේ අවසානයෙන්. මීට වසර මිලියන 66 පමණ පෙර මිසෝසොයික යුගය අවසන් වී ඇරඹෙන්නෙ සෙනෝසොයික මහා අවධිය. සෙනෝසොයිකය තමයි වර්තමානයේදිත් ක්රියාත්මක වන්නෙ. 
 
සෙනෝසොයිකය යනු ක්ශීරපායින්ගෙ අවධිය. ඉක්තියෝසෝරයන්, ප්ලෙසියොසෝරයන් ගැවසුනු සාගරය නැමැති පාරිසරික නිකේතනයට එවක් පටන් අයිතිවාසිකම් කියන්නෙ ක්ශිරපායින්. තල්මසුන් , ඩොල්ෆිනයන් අයත් සිටසියා ගෝත්රය ඉක්තියෝසෝරයන්, ප්ලෙසියොසෝරයන්ගෙ ඇබෑර්තුව අද සම්පූර්ණ කරමින් ජීවත් වෙනවා. පෘථෘවිය නැමැති නිල් ග්රහයාගෙ පරිණාමික පරිඡ්ඡේද එකින් එක පිරවෙන්නෙ මෙලෙසින්.
 
මේ සටහනට ආරම්භය ගත් බ්රෙවිෆෙමොරැලිස් විශේෂය අදින් වසර මිලියන ගනනකට පෙර සාගරය තුල පරිණාමික සටන ජයගත් එවන් ඉක්තියෝසෝර් විශේෂයක්. 
 
 
(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
 
 
 
 #DOE
 
 
 
 

No comments:

Post a Comment