Sunday, November 1, 2020

අන්තර් විශේෂ සහයෝගීතාව (Unusual Friendship)


සත්ව ලෝකය තුල අන්තර් විශේෂ අතර මිත්‍රත්වයන් ඇතිවීම අපි දකින්නෙ වනයෙන් පිටතදි. බොහෝ වෙලාවට සත්වොද්‍යාන සහ ගෘහාශ්‍රිතව මේ වගේ එකිනෙකට වෙනස් විශේෂ දෙකක් අතර සහයෝගීතාවන් දකින්න පුළුවන්. වනයේදි පරම සතුරන් වන ඇතැම් විශේෂ සත්වොද්‍යාන තුල කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කර ඇති නිසාම හෝ වෙනත් හේතුන් නිසා මෙවන් සබඳතා ගොඩනගා ගන්නවා. ඇතැම් සත්වොද්‍යාන තුල විවිධ විශේෂ වල සතුන්ගෙ තනිය මැකීමට වෙනත් විශේෂ යොදාගන්න අවස්ථාත් තියෙනවා.

උතුරු අර්ධගෝලයේ පැතිරී තිබෙන සෞම්‍ය කලාපික වනාන්තරත් ඊටත් ඉහල අක්ෂාංශ කරා දිවෙන තුන්ද්‍රා භූමි තුලත් ආහාර දාමයන්ගෙ ඉහල පුරුක් වල සිටින සුපිරි විලෝපිකයක් දෙදෙනෙක් වර්තමානයේදි දකින්න පුළුවන්. ඒ තමයි වලසුන් සහ අළු වෘකයන්. මේ සත්ව විශේෂ වල හැසිරීම එකිනෙකට සම්පූර්ණ වෙනස්. වලසුන් තනිව ජීවත්වන අතරේ (solitary species) වෘකයන් රංචු වශයෙන් සංකීර්ණ සමාජ ක්‍රමයක් තිබෙන සතුන්. ඒ වගේම මේ සත්ව විශේෂ දෙක ස්වාභාවික සතුරන්. වලසුන් වෘකයන්ගෙ ගොදුරුත්, වලසුන්ගෙ ගොදුරු වෘකයන් විසිනුත් පැහැරැ ගැනීම සිදුවෙනවා. එකම පාරිසරික නිකේතනයක එහෙම නැත්තන් නිච් එහෙක එකම ගොදුරු සඳහා තරඟයේ යෙදෙන විශේෂ දෙකක් නිසා මේ ස්වාභාවික එදිරිවාදිකම ටිකක් බරපතල ආකාරයෙන් තිබෙන විශේෂ දෙකක්.

2013 වර්ශයේදි ෆින්ලන්ත ඡායාරූප ශිල්පියෙකුට අපුරු දසුනක් දක්නට ලැබෙනවා මේ වනාන්තර තුල. ඒ තමයි අළු වෘක ධේනුවක් සහ දුඹුරු වලසකු අතර ගොඩනැගී තිබෙන මිත්‍රත්වය. සතුරු විශේෂ දෙකක් අතර මේ අන්තර් විශේෂ සබඳතාව අතිශයින්ම දුර්ලභ මෙන්ම ඉතාමත් සිත්ගන්නාසුළු සිදුවීමක්. මොවුන් දෙදෙනා එක්ව දඩයම් කිරීම, දඩයම් බෙදා ගැනීම, සෙල්ලම් කිරීම ආදී කටයුතු වල යෙදෙන ආකාරය මේ ඡායාරූප ශිල්පියා විසින් සිය කාචයට හසුකරගෙන ලෝකයා හමුවේ තැබුවා.

පහත තිබෙන්නේ ඒ ඡායාරූප කිහිපයක්.මේ සහයෝගීතාව තුලින් මොවුන් දෙදෙනාම වාසිදායක තත්වයකය පත්වුන බව සත්ව විද්‍යඥයන්ගෙ අදහස. වනය තුල අතිශයින්ම සතුරු විශේෂ දෙකක් මෙලෙස කටයුතු කිරීම අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක්.
 

 




(Image credit - Finnish photographer Lassi Rautiainen)
 
 
 
 
#DOE 

No comments:

Post a Comment