Tuesday, September 10, 2019

ෆොසිල ප්‍රතිනිර්මාණය (Fossil Reconstruction)


බොහෝ දෙනාට තිබෙන ගැටලුවක් තමයි වසර මිලියන ගනනක් පැරණි ජීවීන්ගෙ ෆොසිල අනුසාරයෙන් කොහොමද ඔවුන්ව ප්‍රතිනිර්මාණය කරන්නෙ කියන එක. මේ සතුන් මේ වගේමද ? නැත්තන් මේ ප්‍රතිනිර්මාණ හුදෙක් උපකල්පන මත ගොඩනඟා ඇති හිතළු පමණක්ද ?

දැන් මේ උදාහරණයට මම අරන් තියෙන්නෙ ටී⁣ රෙක්ස් (T rex), ඩයලැෆසෝරස් වෙදරිලි (Dilophosaurus wetherilli), ස්මයිලඩොන් පොපියුලේටර් (Smilodon populator) සහ මෙගලසෙරෝස් ජයිගැන්ටුස් (Megaloceros giganteus) නැමැති සත්ව විශේෂ හතර. පහත ඡායාරූප දිහා බැලුවොත් ඔබට බලාගන්න පුළුවන් ඔවුන්ගෙ අස්ථි පිහිටන ආකාරය. සම්පූර්ණ ෆොසිලයම ඇතැම්විට නොලැබුණත් අස්ථි විද්‍යාව (Osteology) අනුව මේ අස්ථි පිහිටන ආකාරය ගැන ඉතාමත් නිවැරදි අවබෝධයක් ෆොසිල විද්‍යාවෙ නියැලෙන අයට තිබෙනවා. ඒ වගේම මේ ෆොසිල තුල අස්ථි සටහන් අනුව මාංශපේශින් සවිව තිබු ආකාරය ගැන අදහසක් ලබාගන්න පුළුවන්.

ටී⁣ රෙක්ස් අස්ථි සැකැස්ම 

මේ ෆොසිල CT scan, X ray ආදියට යොමු කරාට පසුව අස්ථි හා සම්බන්ධව තිබු මාංශපේශින්වල ප්‍රමාණය ගැන නිවැරදි අදහසක් ලබා ගන්න පුළුවන්. සෑම අස්ථියකම ඊට සවිව තිබු මාංශපේශිය ගැන සටහනක් තිබෙනවා. දියුණු ක්‍රම මඟින් මේවා විශ්ලේෂණය කර ලැබෙන තොරතුරු ඉතාමත් නිරවද්‍යතාවක් සහිත තොරතුරු බවට පත්වෙනවා. උදාහරණයකට මනුශ්‍ය හෝ හොමිනිඩ් කපාලයක් ගත්තොත් මස්තිශ්කයේ ප්‍රමාණය, එහි නැමුම් දාරවල් ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන්.

මාංශපේශීන් ගැන නිවැරදි අදහසක් ලබාගත් පසු සත්වයා බොහෝ දුරට ප්‍රතිනිර්මාණය වී අවසන්. පහත උදාහරණ වල ටීරෙක්ස් ඡායාරූපය බැලුවොත් ඔබට දකින්න පුළුවන් අස්ථි අනුව ප්‍රතිනිර්මාණය කල මාංශපේශි පද්ධතිය. මාංශපේශි පද්ධතිය නිර්මාණය වු පසු සම පිහිටන ආකාරය පමණයි ප්‍රතිනිර්මාණය කරන්න ඉතිරි වන්නෙ.


ටී⁣ රෙක්ස් අස්ථි අනුව ප්‍රතිනිර්මාණය කල මාංශපේශි පද්ධතිය

ඇතැම් ෆොසිලවල සම පිහිටා තිබු ආකාරය සටහන් වෙලා පවතිනවා. ඉගුවානොඩොන්ටිඩේ, හැඩ්රොසෝර් වගේ ගනයන් කාණ්ඩ ගත්තම ඉතාමත් ඝණකම් සම පිහිටා තිබූ සත්වයන්. හැඩ්‍රොසෝර් සම් සටහන් ගනනාවක් පෞද්ගලික මා නිරීක්ෂණය කර තිබෙනවා. ඒවා බහුලව ලැබෙන්නෙ ඒවායෙ තිබෙන ඝනකම නිසා ඉතා හොඳින් සංරක්ෂණ වීමෙන්. එවැනි සාධක මත සම ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන්. ඒ අවස්ථාවෙදි අදාල සත්වයා 99% ප්‍රතිනිර්මාණය වී අවසන්.

වර්ණ රටා ඇතැම් ෆොසිල තුල සටහන්ව තිබෙනවා, එසේ පැවතුනොත් ඒ අනුව පුළුවන් සත්වයාට වර්ණය ලබා දෙන්න. නමුත් එවැනි අවස්ථා විරලයි. බොහෝ විට ලැබෙන වර්ණය අදාල පරිසරයන් අනුව උපකල්පනය වූවක්. වර්තමානයේදි ජීවත්ව සත්වයින්ගෙ හැසිරීම් රටා, ඔවුන් අයත් පරිසර අනුව වෙනස්වන ආකාරය ආදිය සලකා බලා තමයි ඒ උපකල්පන ගොඩනැගෙන්නෙ.

ප්‍රතිනිර්මාණය සිදුවන සංකීර්ණ ආකාරය ගැන සරල සටහනක් තමයි මේ. නමුත් මෙයින් ඔබට අදහසක් ලබාගන්න පුළුවන්.


ඩයලැෆසෝරස් වෙදරිලි අස්ථි සැකැස්ම
ඩයලැෆසෝරස් වෙදරිලි ප්‍රතිනිර්මාණය 


ස්මයිලඩොන් පොපියුලේටර් අස්ථි සැකැස්ම
ස්මයිලඩොන් පොපියුලේටර් ප්‍රතිනිර්මාණය


මෙගලසෙරෝස් ජයිගැන්ටුස් අස්ථි සැකැස්ම 
මෙගලසෙරෝස් ජයිගැන්ටුස් ප්‍රතිනිර්මාණය



(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




No comments:

Post a Comment