Tuesday, September 10, 2019

වේගයෙන් දිවිය හැකි ප්‍රාග්ඓතිහාසික කිඹුලන් (Swift prehistoric crocodile ancestors)


කිඹුලන් කියන්නෙ ජලජ පරිසරය තුල අති බිහිසුණු විලෝපිකයන් කණ්ඩායමක්. වසර මිලියන ගනනක කිඹුල් වර්ගවල පරිණාමය තුල එක්තරා අවධියක ජීවත්ව තිබෙනවා ඉතාමත් වේගයෙන් ගොඩබිම පවා දිවිය හැකි කිඹුල් විශේෂ. මේ සටහන එවන් විශේෂයක් ගැන.

වසර මිලියන 95 කට පමණ පෙර ක්‍රිටැසියස් යුගෙයේ වර්තමාන නයිජර් රාජ්‍ය පවතින ප්‍රදේශය තුල ජීවත් වු මේ විලෝපික විශේෂයේ නම "කැප්රෝසූකස් සහරිකුස් (Kaprosuchus saharicus)".

කැප්රෝසූකස් හකු අතර දිගු පිහිතල මෙන් පිහිටන දත් යුගල් තුනක් දකින්න පුළුවන්. වෙනත් කිසිඳු කිඹුල් ආකාරයකට නොපිහිටන මේ දන්ත සැකැස්ම ඉතාමත් විශේෂිතයි. එමෙන්ම කිඹුල් ආකාරවල අක්ශි කුහර සාමාන්‍යයෙන් පිහිටන්නෙ ඉහලට ඉස්සී ඇති අකාරයට. ඒ ජලයේ සිටියදි ඇස් පමණක් ජල මට්ටමෙන් ඉහලට එසවිය හැකි ආකාරයට. නමුත් කැප්රෝසූකස් කපාලයේ අක්ශි කුහර පිහිටන්නෙ පාර්ශ්වීක ලෙස. මේ කාරණය ගොඩබිම විලෝපීකතාව සඳහා සැකසුනු අනුවර්තනයක් ලෙස තමයි ෆොසිල විද්‍යාඥයන් පෙන්වා දෙන්නෙ.

කැප්රෝසූකස් ෆොසිල හිසක්

කැප්රොසූකස් මධ්‍ය ක්‍රිටැසියස් යුගය තුල අප්‍රිකානු තැනි බිම්වල වර්තමාන බිළාලයන් මෙන් දඩයම් කරන්නට ඇති බව විශ්වාස කරනවා. වර්තමානයේ විශාලතම කිඹුල් විශේෂවල මධ්‍යන විශාලත්වය සලකා බැලුවොත් එය අඩි 17 පමණ. නමුත් ක්‍රිටැසියස් යුගය තුල අප්‍රිකාව දඩබම් කරගත් කැපුරෝසූකයන් අඩි 20 පමණ දිගින් යුත් සත්වයන්.

කැප්රෝසූකස් සහරිකුස් ප්‍රතිනිර්මාණයක්

අඩි 20 පමණ විශාලත්වකින් යුත්, රාත්තල් 2000 පමණ බරැති, වේගයෙන් ගමන් කල හැකි, සන්නාහයක් පැළඳි ශරීරයක් මෙන් වු, දිගු පිහිතල මෙන් දත් පිහිටන කැප්රෝසූකයන් ඩයිනෝසරයන් පවා ආහාරයට ගන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. වෙනත් ඩයිනෝසර ෆොසිල වල පවතින දත් පහරවල සලකුණු කැප්රෝසූකස් දත් සමඟ ගැලපීම මේ බවට සාක්ශියක්.

කැප්රෝසූකස් හිසක ප්‍රතිනිර්මාණයක්

මෙවන් කිඹුල් ආකාර (crocodiliforms) විශේෂ ගනනාවක් ලෝකය පුරාම හමුවනවා. මොවුන් වර්තමාන කිඹුල් පරපුරට දුරින් නෑකම් කියු සත්වයන්. කිඹුල් ආකාරවල ගන නාමයන්ට 'සූකස්' ප්‍රථ්‍ය එක්වන ආකාරය ගැන මීට කලකට පෙර ලිපියකදි පිටුව තුලින් විස්තර කර තිබෙනවා. ඉදිරියේදි මේ ආකාරයේ තවත් සත්වයින් ගැන සටහන් කිරීමට බලාපොරොත්තු වෙනවා.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




No comments:

Post a Comment