Tuesday, September 10, 2019

නොටටෙසෙරේරැප්ටර් ෆ්‍රීකෙන්සිස් (Notatesseraeraptor frickensis)


මේ සටහන ලියන විට, 2019 ජුලි 09 වනදා ලෝකයට මේ නව විශේෂය හඳුන්වා දී තවමත් පැය 24 ක් ගතව නැහැ. ඒ නිසාම මේ ඩයිනෝසර විශේෂයේ වර්ණ ගැන්වු විද්‍යාත්මක ප්‍රතිනිර්මාණයක් ගෙන ඒමට නොහැකියි.

වසර මිලියන 209 කට පෙර ට්‍රියැසික් අවධියේ නෝරියන් උප අවධිය තුල තමයි මේ ඩයිනෝසර විශේෂය ජීවත් වෙන්නෙ. වර්තමාන යුරෝපයේ ස්විට්සර්ලන්තයෙන් හමුවන මේ ඩයිනෝසර විශේෂය තේරොපොඩ් කාණ්ඩයට අයත් මුල් කාලීන විශේෂයක්. මේ ආදීකාලීන තේරෝපොඩ්ස්ලව හඳුන්වන්නේ නියෝතේරොපොඩ්ස් කියලා.

කාලය හා සසඳා බැලු විට වසර මිලියන 209 කට පෙර යනු ඔබ කවුරුත් දන්න T-rex විශේෂය මිහිමත පහල වීමට වසර මිලියන 144 කට පමණ කලින් ජීවත් වූ විශේෂක් (T-rex ජීවත් වෙන්නෙ වසර මිලියන 65 කට පමණ පෙර ලේට් ක්‍රිටැසියස් අවධියේදි) . මේ කාල රාමුව වෙනත් විදිහකින් විස්තර කරොත් T-rex සහ අප (Homo sapiens) අතර කාලය අඩුයි T-rex සහ මේ ෆ්‍රීකෙන්සිස් විශේෂය අතර ගතව තිබෙන කාලයට වඩා.

මේ ඩයිනෝසරයාට අයත් හොලොටයිප් නිදර්ශකය සම්පූර්ණවු කපාලයක්,ඉදිරි ගාත්‍රා සහ උදර ප්‍රදේශය තමයි හමුවෙලා තිබෙන්නෙ. පසුකාලීන ක්‍රිටැසියස් යුගය තුල හමුවන ඇවරොස්ට්‍රා කාණ්ඩයට සහ ඩිලැෆසෝරස් ගනයට රූපීයව සමානකම් දක්වන ඩයිනෝසර විශේෂයක් තමයි මේ ෆ්‍රීකෙන්සිස්. පර්යේෂණ පත්‍රිකාවට අනුව ෆ්‍රීකෙන්සිස් කියන්නෙ ඉහත සඳහන් කල පසුකාලීන ඇවරොස්ට්‍රා සහ ඩිලැෆසෝරස් වැනි ඩයිනෝසරයන්ගෙ පූර්වජ අවස්ථාවක්.

මේ මස මුල් සතිය තුල 'වෙස්පසෝරස් පැරනෙන්සිස්' නම් තෙරෝපොඩ් විශේෂය ලෝකයට හඳුන්වා දී තිබුනු අයුරු ගැන සඳහන් කරා ඔබට මතක ඇති. සතියක් ගතවීමට මත්තෙන් මේ ලෝකයට හඳුන්වාදෙන දෙවන තේරොපොඩ් විශේෂය. ෆොසිල විද්‍යාව අති දියුණු තාක්ෂණික ක්‍රම ඔස්සේ ඉදිරියට ඇදෙන වේගය ගැන ඉන් ඔබට අදහසක් ගන්න පුළුවන්. ෆ්‍රීකෙන්සිස් විශේෂයේ විද්‍යාත්මක ප්‍රතිනිර්මාණයක් ඉතාමත් ඉක්මනින්ම ඔබට බලාගන්න පුළුවන් වෙයි.

පහත තිබෙන්නේ ෆ්‍රීකෙන්සිස් ෆොසිලයේ ඡායාරූප. පලමු සටහනෙ මධ්‍යයේ ඇති ප්‍රතිනිර්මාණය තුල සකස් කර ඇති අස්ථි කොටස් පමණයි මෙතෙක් සොයාගෙන තිබෙන්නෙ.



මේ දෙවන ඡායාරූපයේ තිබෙන්නෙ ෆ්‍රීකෙන්සිස් කපාලය. එය ඉතාමත් පූර්ණ ලෙස සංරක්ෂිත තත්වයෙන් ලැබී තිබෙනවා.



(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment