Sunday, November 1, 2020

අන්තර් විශේෂ සහයෝගීතාව (Unusual Friendship)


සත්ව ලෝකය තුල අන්තර් විශේෂ අතර මිත්‍රත්වයන් ඇතිවීම අපි දකින්නෙ වනයෙන් පිටතදි. බොහෝ වෙලාවට සත්වොද්‍යාන සහ ගෘහාශ්‍රිතව මේ වගේ එකිනෙකට වෙනස් විශේෂ දෙකක් අතර සහයෝගීතාවන් දකින්න පුළුවන්. වනයේදි පරම සතුරන් වන ඇතැම් විශේෂ සත්වොද්‍යාන තුල කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කර ඇති නිසාම හෝ වෙනත් හේතුන් නිසා මෙවන් සබඳතා ගොඩනගා ගන්නවා. ඇතැම් සත්වොද්‍යාන තුල විවිධ විශේෂ වල සතුන්ගෙ තනිය මැකීමට වෙනත් විශේෂ යොදාගන්න අවස්ථාත් තියෙනවා.

උතුරු අර්ධගෝලයේ පැතිරී තිබෙන සෞම්‍ය කලාපික වනාන්තරත් ඊටත් ඉහල අක්ෂාංශ කරා දිවෙන තුන්ද්‍රා භූමි තුලත් ආහාර දාමයන්ගෙ ඉහල පුරුක් වල සිටින සුපිරි විලෝපිකයක් දෙදෙනෙක් වර්තමානයේදි දකින්න පුළුවන්. ඒ තමයි වලසුන් සහ අළු වෘකයන්. මේ සත්ව විශේෂ වල හැසිරීම එකිනෙකට සම්පූර්ණ වෙනස්. වලසුන් තනිව ජීවත්වන අතරේ (solitary species) වෘකයන් රංචු වශයෙන් සංකීර්ණ සමාජ ක්‍රමයක් තිබෙන සතුන්. ඒ වගේම මේ සත්ව විශේෂ දෙක ස්වාභාවික සතුරන්. වලසුන් වෘකයන්ගෙ ගොදුරුත්, වලසුන්ගෙ ගොදුරු වෘකයන් විසිනුත් පැහැරැ ගැනීම සිදුවෙනවා. එකම පාරිසරික නිකේතනයක එහෙම නැත්තන් නිච් එහෙක එකම ගොදුරු සඳහා තරඟයේ යෙදෙන විශේෂ දෙකක් නිසා මේ ස්වාභාවික එදිරිවාදිකම ටිකක් බරපතල ආකාරයෙන් තිබෙන විශේෂ දෙකක්.

2013 වර්ශයේදි ෆින්ලන්ත ඡායාරූප ශිල්පියෙකුට අපුරු දසුනක් දක්නට ලැබෙනවා මේ වනාන්තර තුල. ඒ තමයි අළු වෘක ධේනුවක් සහ දුඹුරු වලසකු අතර ගොඩනැගී තිබෙන මිත්‍රත්වය. සතුරු විශේෂ දෙකක් අතර මේ අන්තර් විශේෂ සබඳතාව අතිශයින්ම දුර්ලභ මෙන්ම ඉතාමත් සිත්ගන්නාසුළු සිදුවීමක්. මොවුන් දෙදෙනා එක්ව දඩයම් කිරීම, දඩයම් බෙදා ගැනීම, සෙල්ලම් කිරීම ආදී කටයුතු වල යෙදෙන ආකාරය මේ ඡායාරූප ශිල්පියා විසින් සිය කාචයට හසුකරගෙන ලෝකයා හමුවේ තැබුවා.

පහත තිබෙන්නේ ඒ ඡායාරූප කිහිපයක්.මේ සහයෝගීතාව තුලින් මොවුන් දෙදෙනාම වාසිදායක තත්වයකය පත්වුන බව සත්ව විද්‍යඥයන්ගෙ අදහස. වනය තුල අතිශයින්ම සතුරු විශේෂ දෙකක් මෙලෙස කටයුතු කිරීම අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක්.
 

 




(Image credit - Finnish photographer Lassi Rautiainen)
 
 
 
 
#DOE 

Thursday, October 29, 2020

කුඩාම වඳුරන් (Smallest Monkey in the world)

 
ලෝකයේ සිය ගනනක් වානර විශේෂ ජීවත් වෙනවා. මේ අතරින් කුඩාම විශේෂය මොකක්ද ? මොන වගේ ඇතිද කියලා හිතිලා තියෙනවද ? මේ පහත ඡායාරූපවල ඉන්න හාදයා තමයි ලෝකයේ ජීවත්වන කුඩාම වඳුරන් විශේෂය.

පිග්මි මාර්මොසෙට් (Cebuella pygmaea) නමින් හඳුන්වන මේ විශේෂයේ සම්පූර්ණයෙන් වැඩුනු සත්වයෙකුගෙ බර ග්‍රෑම් 100 ක් පමණ, ශරීර ප්‍රමාණය උපරිම අඟල් 6 පමණ. ඇමසන්වාසී මේ විශේෂය ආහාරයට ගන්නෙ විවිධ ශාඛවල ලාටු, පරාග, රොන් සහ කෘමීන් ආදිය.



පිග්මි මාර්මොසෙට්

පිග්මි මාර්මොසෙට්ලාට තිබෙන විශාලතම තර්ජනය තමයි සුරතල් සතුන් ලෙස විකිණිම. ඒකට හේතුව හිතාගන්න පුළුවන් ඉහත ඡායාරූප වලින්.

වානරයන් අයත් ප්‍රයිමේටා නැත්තන් ප්‍රිමාටා ගෝත්‍රයේ විවිධත්වය ඔබට හිතාගන්න පුළුවන් ඇඟිල්ලක් තරම් පිග්මි මාර්මොසෙට්ගෙ සිට අඩි 6 පමණ මිනිසුන් සහා ඊටත් වඩා ප්‍රමාණයෙන් විශාල ගෝරිල්ලන් ඊට අයත් වන විට.



(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


Link to Facebook post --->

කුහුඹුවකුගෙ හිස (Ant head through a microscope)

 

කුහුඹුවකුගෙ හිසේ සමීප ඡායාරූපයක්

 




(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

 

Link to Facebook post --->

සමනලුන්,කුහුඹුවන් සහ බැටලුවන් (Butterflies, Ants and Sheeps)

 
පරිසර පද්ධති තුල ජීවත්වන සත්වයන් සියල්ලේම හැසිරීම් රටා, ක්‍රියාකාරකම් සහ පැවැත්ම කියන කාරණා එකිනෙකට බද්ධව පවතින්නේ ඉතාමත් සංකීර්ණ ආකාරයට. ඇතැම් පද්ධති බිඳ වැටෙන්නෙ කුමන කාරණා නිසාද යන්නට තේරුම් ගැනීමට පවා අපහසු වන්නෙ, කල් ගතවන්නෙ මේ සංකීර්ණ අන්තර් සබඳතා නිසා.

ලාර්ජ් බ්ලු (large blue) විද්‍යාත්මකව (Phengaris arion) නමින් හඳුන්වන සමනල් විශේෂය කියන්නෙ බ්‍රිතාන්‍ය තුල අතිශයින්ම දුර්ලභ සමනල් විශේෂයක්. ලාර්ජ් බ්ලු සමනලුන්ව මුල් වරට හඳුනාගන්නෙ 1758 වර්ශයේදි. වර්තමානයේදි යුරෝපයේ කොකැසස් කලාපය දක්වා මොවුන්ගෙ විහිදීම දකින්න පුළුවන් වුනාට බ්‍රිතාන්‍ය තුල 1979 දී පමණ වඳව ගිය විශේෂයක් ලෙස නම් කරන්නෙ. නැවත බ්‍රිතාන්‍යට හඳුන්වා දුන් පසුව යම් සාර්ථකත්වයක් සහිතව මේ සමනලුන් පැතිර තිබුනත් තවමත් IUCN රතු දත්ත වාර්තාවල මොවුන්ව ගොනු කරන්නෙ වඳව යෑමට ආසන්න විශේෂයක් ලෙස.

ලාරජ් බ්ලු සමනලයා
 
ලාර්ජ් බ්ලුලා අයත් වන Phengaris නැමැති සමනල් ගනයේ තිබෙන විශේෂත්වය තමයි ජීවන චක්‍රයේ අවස්ථාවක් තුල පරපෝශිතතාව පෙන්නුම් කිරීම. ලාර්ජ් බ්ලු සමනලුන් Myrmica කුහුඹුවන් ජීවත්වන ප්‍රදේශයක් සොයාගෙන ගොස් ඒ අසල ශාඛයක බිත්තර දමනවා. බිත්තරයෙන් පිටතට පැමිණෙන දළඹුවා කෙටි කාලයක් ශාඛය මත වාසය කර Myrmica කුහුඹුවන් ගැවසෙන බිම මත පතිත වෙනවා.

එතැන් පටන් එළඹෙන්නෙ ඔස්කාර් සම්මානයක් ලැබිය හැකි රඟපෑමක්. මේ ලාර්ජ් බ්ලු දළඹුවන් Myrmica කුහූඹුවන්ගෙ පිලා අවස්ථාව අනුකරණය කරමින් රඟපෑමක යෙදෙනවා. පෙනුමෙන් වගේම සුවඳින් පවා ලාර්ජ් බ්ලු දළඹුවන් හැසිරෙන්නෙ Myrmica කුහුඹු පිලවුන් ලෙස. ඒ වගේම ශබ්ද නැගීමකුත් සිදුකරනවා. මේ රඟපෑමට අවට සිටින Myrmica කුහුඹු කම්කරුවන් රැවටීමට ලක්වෙනවා. ප්‍රතිඵලය තමයි කුහුඹු කැදැල්ල වෙත දළඹුවාව ඔසවාගෙන යෑම.

දළඹුවා සහ myrmica කුහුඹුවන්

කුහුඹු කැදැල්ල තුලදි දළඹුවා ගත කරන්නෙ ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක්. Myrmica කුහුඹු පිලවුන් ආහාරයට ගැනීම වගේම Myrmica කුහුඹුවන් ලෙස රඟපාමින් කුහුඹුවන්ගෙන් පෝශණය ලැබීම ආදිය සිදුකරගෙන වැඩෙන ලාර්ජ් බ්ලු පසුව සමනලයෙකු ලෙස පිටව යනවා.

ලාර්ජ් බ්ලුලාගෙ සාර්ථකත්වය තවත් එක් සාධකයක් මත රඳා පවතිනවා. ඒ තමයි බැටලුවන් සහ ගවයන්. බ්‍රිතාන්‍ය තෘණ බිම් තුල තමයි ලාර්ජ් බ්ලුලා යැපෙන Myrmica කුහුඹුවන් ජීවත් වන්නේ. මේ කුහුඹුවන්ට ජීවත් වීම සඳහා තෘණ ඉතාමත් කෙටිව පැවතීම අනිවාර්ය සාධකයක්. එහෙම නැතිවුනොත් ඔවුන් එතනින් වෙනත් ස්ථාන කරා ඇදෙනවා. ස්වාභාවධර්මය තුල මේ තණකොල කෙටිව තබා ගැනීමේ යාන්ත්‍රණය තමයි බැටලුවන් සහ ගවයන්.

ඔබට පේනවා ඇති එකිනෙකට කිසිම සබඳතාවක් නොමැති සත්ව විශේෂ ත්‍රිත්වයක අන්තර් සබඳතාව. එක් සාධකයක් මේ රාමුව තුලින් ඉවත් කරොත් දාමය බිඳ වැටීම සිදුවෙනවා. මේ සංකීර්ණ සබඳතා ජාලයක් මත තමයි පරිසර පද්ධතියක පැවැත්ම රඳා පවතින්නෙ.

'පරිසරය සුරකිමු' යන වචනවලට එහා ගිය පරිසරය පිළිබඳව හැඟීමක් සහ ඒවා රැකගත යුතු ආකාරය ගැන සබුද්ධික ලෙස සිතීමට හැකියාව ලැබීමට මේ සියුම් සබඳතා ගැන වැටහීමක් තිබිය යුතුයි. එසේත් නැතහොත් සිදුවන්නෙ save..... , protect.... , ආදි හිස්තැන් පිරවීමට නිරන්තරයෙන් වචන සොයාගැනීමේ අරගලයක යෙදීම විනා සැබෑ පරිසරය සුරකීමක් අහලකටවත් යෑමට නොහැකි වීමයි.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


Link to Facebook post --->

ඉක්තියෝසෝරයන් (Ichthyosaurus)

 
2019 සැප්තැම්බරයේදී ෆොසිල විද්‍යාවෙන් වාර්තා වු නව විශේෂයක් තමයි චාඔහුසෝරස් බ්‍රෙවිෆෙමොරැලිස් (Chaohusaurus brevifemoralis) නැමැති ඉක්තියෝසෝර් විශේෂය. ඉක්තියෝසෝර්ලා ගැන #DOE තුලින් කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ ඉතාම අඩුවෙන් නිසා බ්‍රෙවිෆෙමොරැලිස්ව ප්‍රස්තූතය කරගන්නවා ඉක්තියෝසෝර්ලා ගැන පොඩි හැඳින්වීමක් සඳහා.

ඉක්තියෝසෝර් ලෙස හඳුන්වන්නෙ ඉක්තායෝසෝරියා/ඉක්තියොප්ටෙරිජියා ගෝත්‍රයට අයත් ජලජ උරගයන් විශේෂයකට. ශ්‍රීමත් රිචඩ් ඕවන් විසින් 1840 දි පමණ මේ ගෝත්‍ර නාමය හඳුන්වා දෙන්නෙ 'මත්ස්‍ය වරල් සහිත' යන අර්ථයෙන්. ට්‍රියැසික් මුල් යුගයේ සිය ක්‍රිටැසියස් අවධිය තෙක්ම සාගර තුල අණසක පැතිරවු ජීවි කාණ්ඩයක් තමයි මේ ඉක්තියෝසෝරියාවන්. ඒ කියන්නෙ ඩයිනෝසරයන් භෞමික පරිසර තුල ප්‍රචලිත වනවිට ජලජ පරිසර තුලට හැඩගැසුනු උරග කාණ්ඩයක් තමයි ඉක්තියෝසෝරයන්. ට්‍ර්යැසිකයේ සිට ක්‍රිටැසියස් දක්වා වසර මිලියන 160 කාල පරාසයක් මේ සත්වයන් මිහිමත වාසය කරනවා. මේ කාල පරාසය කොතරම් විශාලද යන්න හිතාගන්න පුළුවන් එක් නිර්නායකයක් තමයි ඩයිනෝසරයන් වඳව ගොස් තවමත් ගතව ඇත්තෙ වසර මිලියන 65 ක් යන්න.



විවිධ ඉක්තියෝසෝර් විශේෂ

ඉක්තියෝසෝරයන්ගෙ පරිණාමික ගමන් මඟ ඇරඹෙන්නෙ භෞමික වාසී උරගයෙකුගෙන්. භෞමික පරිසරයේ සිට ජලජ පාරිසරික නිකේතනය දක්වා පරිණාමය වෙමින් ක්‍රමිකව නැවතත් සාගරයට අනුවර්තනය වීමක් මෙහිදි සිදුවෙන්නෙ. මේක සමාන කරන්න පුළුවන් වසර මිලියන 55 පමණ පෙර සිදුවු තල්මසුන් පරිණාමය වීමේ සිද්ධි දාමයට. මේ සිද්ධි දෙකම සමාන්තර පරිණාමික ක්‍රියාවලි වලට උදාහරණ, ඒ වගේම මෙලෙස නැවත අාපසු සාගරයනට අනුවර්තනය වීම අපි හඳුන්වනවා 'Reverse evolution' සිද්ධියක් ලෙස.

ඉක්තියෝසෝරයන් ට්‍රියැසික් සහ ජුරැසික් මුල් භාගයට වන්නට සාගර ආහාර දාමයන්ගෙ සුපිරි විලෝපිකයන් ලෙස වැජඹුනත් පසුව පරිණාමය වන තවත් ජලජ උරගයන් කාණ්ඩයක් වන ප්ලෙසියොසෝරියාවන් හමුවෙ පසු බැසීමට ලක්වනවා. වසර මිලියන 95 කට පමණ පෙර ක්‍රිටැසියස් සාගරයන්හී ඔක්සිජන් ඌණ වීමේ සංසිද්ධියක් ඇතිවනවා (ඇස්ටරොයිඩ ඝට්ටනයට ප්‍රථම). ඒත් සමඟම විශාල සාගර ජීවීන් ප්‍රමාණයක් නශ්ඨ වීම සිදුවෙනවා. ඉක්තියෝසෝරයන්ගෙ අවසානය සනිටුහන් වන්නෙත් මේ නශ්ඨවීම් සංසිද්ධියේදි.

ඉක්තියෝසෝර් ෆොසිල අධ්‍යනය ඉතාමත් සිත්ගන්නාසුළු ක්‍රියාවලිවක්. පෙනුමෙන් ඩොල්ෆිනයකු මෙන් දිස්වුනාට අභ්‍යන්තර සැකිල්ල, අස්ථි පිහිටීම ආදිය පෙන්නුම් කරන්නෙ ජලජ ජිවිතයට හැඩගැසුනු උරගයෙකුගෙ සැකිල්ල. පාර්ශ්වීක වරල් පෘශ්ඨීය වරල් ආදිය භෞමික පරිසරයෙන් ක්‍රමිකව ජලජ තත්වයනට හැඩ ගැසීමේදි අනුවර්තනය වී ඇති ආකාරය මනා ලෙස පෙන්නුම් කරනවා.

බ්‍රෙවිෆෙමොරැලිස් ෆොසිලයක්
 
පරිණාමික ක්‍රියාවලිය තීරණය කරන එක් සාධකයක් වන තරඟකාරීත්වය තුල විවිධ පාරිසරික නිකේතන දික්විජය කිරීමට විවිධාකාර සත්ව විශේෂ දක්වන, දැක්වු උපක්‍රමයන් පරිණාමික දිනපොත තුලින් නිරන්තරයෙන්ම කතා බහට ලක් කෙරෙන කාරණා. මීසෝසොයික මහා අවධිය තුල සාගරය නමැති පාරිසරික නිකේතනයේ විශිෂ්ට විලෝපික තත්වය නැමැති ඇබෑර්තුව ඉක්තියෝසෝරයන් විසින් ග්‍රහණය කරගන්නාවා. ඒ පිරවු ඇබෑර්තුව අවසන් වන්නෙ ක්‍රිටැසියස් නශ්ඨවීමත් සමඟ සනිටුහන් වන මීසෝසොයිකයේ අවසානයෙන්. මීට වසර මිලියන 66 පමණ පෙර මිසෝසොයික යුගය අවසන් වී ඇරඹෙන්නෙ සෙනෝසොයික මහා අවධිය. සෙනෝසොයිකය තමයි වර්තමානයේදිත් ක්‍රියාත්මක වන්නෙ. 
 
සෙනෝසොයිකය යනු ක්ශීරපායින්ගෙ අවධිය. ඉක්තියෝසෝරයන්, ප්ලෙසියොසෝරයන් ගැවසුනු සාගරය නැමැති පාරිසරික නිකේතනයට එවක් පටන් අයිතිවාසිකම් කියන්නෙ ක්ශිරපායින්. තල්මසුන් , ඩොල්ෆිනයන් අයත් සිටසියා ගෝත්‍රය ඉක්තියෝසෝරයන්, ප්ලෙසියොසෝරයන්ගෙ ඇබෑර්තුව අද සම්පූර්ණ කරමින් ජීවත් වෙනවා. පෘථෘවිය නැමැති නිල් ග්‍රහයාගෙ පරිණාමික පරිඡ්ඡේද එකින් එක පිරවෙන්නෙ මෙලෙසින්.
 
මේ සටහනට ආරම්භය ගත් බ්‍රෙවිෆෙමොරැලිස් විශේෂය අදින් වසර මිලියන ගනනකට පෙර සාගරය තුල පරිණාමික සටන ජයගත් එවන් ඉක්තියෝසෝර් විශේෂයක්. 
 
 
(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
 
 
 
 #DOE
 
 
 
 

අන්දරේ සහ කලු කුකුලන් (Black roosters and Andare, the court jester)


වරක් කුඹුරක් මැද ඇති ගලක් ඉවත් කිරීමටනන් දින ගනනාවක් යනතෙක් කලු කුකුල් මස්, කිනිතයා මැල්ලුම් සමඟ හීනටී හාලේ බත් තමාට ලබාදෙන ලෙස අන්දරේ ඉල්ලීමක් කරනවා. ජනප්‍රවාදයේ එන අන්දරේගෙ මේ කතාව ජගත් ගුණවර්ධන සර් මතක් කරලා දුන්නෙ සර්ගෙන් ලඟදි අහපු ප්‍රශ්නෙකට පිළිතුරක් විදිහට. මේ කතාව ලියලා තියන්න කියලා සර් කියපු නිසා අද සටහන කලු කුකුලන් ගැන.

වර්ණ රටාවෙන් කලු වර්ණයෙන් යුත් පියාපත් ඇති කුකුළන් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. නමුත් මේ පියාපත් වර්ණය අභිබවා යමින් සම, මස්, කරමලය, දිව සහ අස්ථි පවා තද කළු පැහැයෙන් යුත් කුකුළන් ප්‍රභේද ලෝකෙ විවිධ රටවල ජීවත් වෙනවා. ඉතාමත් මෑතකදි ප්‍රකාශයට පත්වුන වාර්තාවක සඳහන් වෙන්නෙ මේ ආකාරයේ ප්‍රභේද හතරක් ජීවත් වන බවයි.

ඉන්දුනිසියාවෙන් වාර්තා වෙන අයාම් සීමානි ප්‍රභේදය මේ අතරින් කළු වර්ණය අධිකම ප්‍රභේදයක්. මේ කුකුලන්ගෙ මාංශය කළු තින්ත භාජනයක දමා ගත්තාක් මෙන් දිස්වෙන බවයි පැවසෙන්නෙ. සිල්කි ප්‍රභේදය, වියට්නාමයේ හ්මොන්ග් ප්‍රභේදය සහ ස්වීඩනයේ ස්වර්තෝනා ප්‍රභේදය තමයි මෙලෙස හඳුනාගෙන තිබෙන ප්‍රභේද හතර. මේ කලු වර්ණයට හේතුවෙන ජානමය තත්වය නම් කරන්නෙ ෆිබ්රෝමෙලනොසිස් (fibromelanosis) ලෙස.

ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ ජාන පිළිබඳ පර්යේෂකයන් සඳහන් කරන්නෙ මේ තත්වය ඇතිවෙන්න ජීනෝමය ඉතාමත් සංකීර්ණ ප්‍රතිසංවිධානයකට ලක්වීම සිදුව ඇති බවයි. ඒ වගේම මේ පර්යේෂකයන් සඳහන් කරන තවත් සිත්ගන්නාසුළු කාරණයක් තමයි මේ ජාන විකෘතිය දරන සියලුම ප්‍රභේද වසර දහස් ගනනකට පෙර එක් තනි පූර්වජයෙකුගෙන් පැවතෙන බව. තවත් සරල කරොත් මේ කතාව වසර දහස් ගනනකට පෙරදි එක්තරා කුකුළෙක් මේ ජාන විකෘතිය සමඟ උපදිනවා. ඒ කුකුළගෙන් තමයි අද ලෝකයේ fibromelanosis තත්වය රැගෙන යන සියළු කුකුළන් ඇතිව තිබෙන්නේ.
 
කලු කුකුළා

සියළුම පෘශ්ඨවංශික විශේෂ සතුව තිබෙනවා ජානයක් Endothelin 3 (EDN3) නමින් හඳුන්වන. EDN 3 ජානයෙන් සිදු වෙන්නෙ තවත් බොහෝ දේවල් එක්ක සමේ වර්ණය තීරණය කිරීම (ජාන කියන්නෙ එක කෘත්‍යක් ඉටු කරන දේවල් නෙමේ, කෘත්‍යන් රාශියකට හේතු පාදක වෙන පැකේජ් එකක් වෙන්න පුළුවන්). කුකුළෙක් ක්‍රමයෙන් වැඩෙද්දි සමේ සහ පිහාටු නිර්මාණයවන ෆොලිකල් ආදියේ තිබෙන මේ EDN 3 විසින් සක්‍රිය කරනවා මෙලනොබ්ලාස්ට් (melanoblast) කළු වර්ණය තීරණය කරන. කළු පාට පිහාටු ආදිය ඇතිවෙන්නෙ එහෙම.

නමුත් fibromelanosis තත්වයේ කුකුළෙක්ගෙ සමේ පමණක් නොව ශරීරයේ සියළු සෛල සතු EDN 3 මඟින් මෙලනෝබ්ලාස්ට් සක්‍රිය කිරීම සිදුවෙනවා. ප්‍රතිඵලය කළු පැහැති මාංශපේෂි, අස්ථි, සහිත කළු කුකුලෙක්.

දැන් මේ ජාන විකෘතිය නිසා කුකුළන්ට කිසිම හානියක් හෝ රෝගී තත්වයක් ඇතිවන්නේ නෑ. එකම වෙනස කලු පැහැය. මේ කලු කුකුළු මස් රසින් සහ ගුණයෙන් වැඩි බවට විශ්වාසයන් පවතිනවා. ඖෂධීය වටිනාකමක් මේවාට ලබා දී තිබෙනවා.

1298 දක්වා පැරණි මාර්කෝ පෝලෝගෙ වාර්තාවල කලු කුකුළන් ගැන සඳහන් වෙනවා. පැරණි චින අධිරාජ්‍ය වාර්තා මේවා ගැන සඳහන් කරනවා. ඈති යුගවල යම් කාලයකදි තනි කුකුලෙකුගෙන් ඇතිවු මේ ජාන විකෘතිය ගිණිකොණදිග ආසියාතික රටවලත්, ස්වීඩනය වැනි ස්කැන්ඩික් ප්‍රදේශවලටත් ගිය ආකාරය ඉතාමත් ආකර්ශනීය ගැටලුවක් වගේම මිනිස් වර්ගයාගෙ සංක්‍රමණ, ආක්‍රමණ, සංස්කෘතික හුවමාරුන් ගැන ඉඟි පලකරන්නක්.

දැන් කතාව මෙහෙම තියෙද්දි කලු කුකුලන් සහ අන්දරේ කතාව එලියට ආවේ කොහොමද ? මීට වසර කිහිපයකට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශනයකදි ජගත් ගුණවර්ධන සර් ලංකාවට ආවේණික ගොවිපල සතුන් ප්‍රභේද කිහිපයක් ගැන කතා කරද්දි නැගෙනහිර පළාතේ සහ ඇතැම් ප්‍රදේශවල කලු කුකුළු මස් ඉතාමත් දුලභ ලෙස දකින්නට ඇති බව සඳහනක් සිදුකලා. ප්‍රභේදයක් ලෙස ප්‍රචලිතව නොතිබුනත් ලංකාවය ආවේණික කලු කුකුලන් සිටිනවා යන්න එයින් දැනගත හැකි වු කාරණයක්. මේ ප්‍රභේද වර්තමානයේදි ඉන්නවාද නැත්තන් සම්පූර්ණයෙන්ම අපට අහිමි වෙලාද කියන්න නොදනිමි. නමුත් fibromelanosis තත්වය ගැන දැනගැනීමෙන් පසු ජගත් සර්ගෙ කලු කුකුලන් කතාව නැවත ආවර්ජන කිරීමේදි ජනප්‍රවාදයේ එන අන්දරේ සහ කලු කුකුලු මස් කතාව සර් මතක් කරා. දේශිය ගොවිපල කර්මාන්තය තුල ආවේණික කලු කුකුලන් ප්‍රභේදයක් අපටත් සිටින්න ඇති බවට මෙය ඉඟි පලකරන්නක්.

ඇත්තටම එහෙම ආවේණික ප්‍රභේදයක් හිටියද ? ඉන්නවද ? ඉන්නවා නම් ලක්ෂණ මොනවාද ? එහෙමනම් ඒත් මේ fibromelanosis ජානමය තත්වයද ? ජාත්‍යන්තර පර්යේෂකයන්ට මඟහැරුන තවත් එක් ප්‍රභේදයක්ද ? මේවා පර්යේෂණ ගැටලු. ශාඛ්‍යතාවක් තිබෙන අයට මේවා ගැන පර්යේෂණ සිදුකරන්න පුළුවන්. විද්‍යාත්මක විනයක් ඇතිව එලෙස පර්යේෂණ සිදුකර ඇත්නම් හෝ ඉදිරියේදි සිදුකරනවානම් ඒවායේ ප්‍රකාශිත ප්‍රතිඵල #DOE එකටත් කියන්න. 😊



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

 

Sunday, October 25, 2020

Battle at Big Rock

 
ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපට තේමාව යටතේ Battle at  Big Rock කෙටි චිත්‍රපටය 2019 සැප්තැම්බර් මැදදී නිකුත් කෙරුනා. මේ තේමාව යටතේ සහ සන්නාමය යටතේ කෙටි චිත්‍රපටයක් පල වුන ප්‍රථම අවස්ථාව. ජුරාසික් වර්ල්ඩ් සහ ජුරාසික් පාර්ක් චිත්‍රපට එකතුවේම දක්නට නොලැබෙන නසුටොසෙරටොප්ස් (සෙරටොප්සියාවන් විශේෂයක්) සහ ඇලෝසෝරස් විශේෂය මෙහිදි දැකගන්න පුළුවන්.

(නසුටොසෙරටොප්ස් සහ ඇලෝසෝරස් ගැන ඉදිරියේදි පිටුව තුලින් කතා කරමු)

පහත තියෙන්නෙ මේ කෙටි චිත්‍රපටය. අවසන් වන තෙක්ම බලන්න. 🦖

 

Directed by #ColinTrevorrow
Written by #EmilyCarmichael

Studio #UniversalStudios & #AmblinEntertainment

 

 

#DOE

 

Link to Facebook post ---> 

Saturday, October 24, 2020

ළදරු ඝාතනය (Infanticide)

 
බාලඝාතය එහෙමත් නැත්තම් පැටවුන් මරා දැමීම කියන්නෙ බොහෝ සත්ව විශේෂ වලට තිබෙන ලක්ෂණයක්. පරිණාමිකව මේ ලක්ෂණය ශක්තිවන්තයාගේ ඉදිරි පැවැත්ම තහවුරු කිරීමට උපකාරී වන ලක්ෂණයක්. මාතෘ සත්වයා සතු පැටවුන් ඝාතනය කිරීම තුලින් නැවත ලිංගික සංසර්ගය සඳහා තත්වය ඇති කිරීම වගේම ආහාර, වාසස්ථාන ආදී වූ අවශ්‍යතා සඳහා වූ තරඟය අවම කිරීම සඳහා මේ ක්‍රියාවලිය සත්ව ලෝකය තුල නිරන්තරයෙන්ම සිදුවෙනවා. 
 

මේ ඡායාරූපයේ දැක්වෙන්නෙත් සිම්බාබ්විහි කරීබා නදියේ වෙසෙන හිපොපොටේමස් සත්වයෙක් කුඩා පැටවකුට පහර දීම. මව් සත්වයාව පලවා හැර කුඩා පැටවාට පහර දෙන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් මේක. ස්විට්සර්ලන්ත ජාතික ඡායාරූප ශිල්පියකු වන Adrian Hirschi විසින් ඡායාරූපගත කරන ලද සිද්ධියක්.
 
ඒ වගේම මෙහිදි සඳහන් කරන්න ඕන බොහෝ දෙනා නොදන්න කාරණයක් තමයි ගොඩබිම වෙසෙන විශාල ක්ශිරපායී සතුන් අතරින් දරුණුම සත්වයෙක් වන්නෙ හිපොපොටේමස් සත්වයන් බව. වසරකට අප්‍රිකානුවන් 500 පමණ මරු කැඳවීමට සමත් මේ සත්වයන්. හිපොපොටේමස් සතුන් ජීවත්වන ගංගා විල් ආශ්‍රිතව ගමන් කරන බෝට්ටු ආදියට නිරන්තර පහර දීම් සිදුවෙනවා. 2014 වර්ශයේදි කුඩා පාසැල් දරුවන් රැගත් බෝට්ටුවකට පහරදී කුඩා දරුවන් 12 දෙනකු පමණ ඝාතනය කල ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුනා. 
 
ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගවල මේ සතුන් ජීවත් වුනත් වර්තමානයේදි මොවුන් දැකගැනීමට නොහැකි නිසා මොවුන්ගෙ රෞද්‍ර ස්වාභාවය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නෑ.



(Image credit - Adrian Hirschi)

 

 

#DOE

 

Link to Facebook post --->

මී මැස්සන්, පිළිකා සහ ත්‍රස්තවාදය වැලැක්වීම (Bees; to detect Cancers, Drugs and Explosives)


මී මැස්සන් ආධාරයෙන් පිළිකා තත්වයන් වගේම වෙනත් රෝග තත්වයන් සහ ඉව තුලින් හඳුනාගත හැකි තවත් බොහෝ ක්‍රියාකාරකම් සඳහා නියමු ව්‍යාපෘති ලෝකයේ විවිධ රටවල සිදු වෙනවා. පෘතුගාලයේ සුසෑනා සොආරේස් විසින් මී මැස්සන් මඟින් පිළිකා හඳුනා ගැනීම සඳහා උපකරණයක් නිපදවීම සිදු කෙරුනා. වීදුරුවලින් නිපදවු මේ උපකරණය තුලට ආශ්වාස කිරීමෙන් පිළිකා තත්වයක් වැළඳුනු අයෙකු නම් වීදුරු උපකරණය තුල වු තවත් කුඩා කාමරයකට මී මැස්සන් ගමන් කිරීම සිදුවෙනවා.
 



මී මැස්සන් මඟින් පිළිකා හඳුනා ගැනීම සඳහා උපකරණය

මෙහිදි ඇත්තටම සිදුවන්නෙ ආශ්වාස වාතයේ ඇතැම් ඉතා සියුම් ගන්ධයන් හඳුනා ගැනීමට මී මැස්සන් පෙර පුහුණු කර තිබීම. Apis millifera වැනි මී මැසි විශේෂ මේ සඳහා පුහුණු කිරීම සිදුකල හැකි බව විද්‍යඥයන් ප්‍රකාශ කරනවා. ක්ශය රෝගය, පෙනහලු පිළිකා, චර්ම පිළිකා වැනි තත්වයන්ට අදාල ජෛව සංවේදි රසායනික තත්වයන් හඳුනා ගැනීමට මී මැස්සන් පුහුණු කිරීමේ හැකියාව පවතිනවා.

රෝග පමණක් නොව පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ආදිය හඳුනා ගැනීම සඳහාත් මී මැස්සන් උපයෝගි කරගැනීමේ පර්යේෂණ සිදුවෙමින් පවතිනවා. විනාඩි 10 වැනි කාලයක් තුල මී මැස්සක් ඕනෑම ගන්ධයක් හඳුනා ගැනීම සඳහා පුහුණු කිරීමේ හැකියාව පවතිනවා. අදාල ගන්ධය සමඟ සීනි සහ ජලය සහිත ද්‍රාවණයක් ලබා දීම තුල මී මැස්සන් මෙලෙස පුහුණු කිරීමේ කාර්ය සිදුවෙනවා.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


ටීරා (Tira)


2019 සැප්තැම්බරයේදී අප්‍රිකානු මසායි මාරාවෙන් වාර්තා වුන අපූරු සිද්ධියක් තමයි ටීරා. ටීරා කියන්නෙ ස්‍රීබ්‍රාවෙක්. නමුත් ඔබ සාමාන්‍යයෙන් දකින සුදු සහ කළු පටි ආකාර වර්ණ රටාවන් වෙනුවට අඳුරු පැහැති පසුබිමක සුදු තිත් තිබෙන සීබ්‍රාවෙක්. 



ටීරා

ටීරාගෙ මේ තත්වයට හේතුවෙන්නෙත් මෙලනින් වර්ණකය හා සබැඳි ජානවල හැසිරීම. අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක් වගේම අධ්‍යනය සඳහා නව මානයක් මේ සමඟ විවෘතවී තිබෙනවා. විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා පිහිටන වර්ණ රටාවක් ලෙස සාමාන්‍යය සුදු සහ කළු රටාව බහුතර විද්වතුන් පිලිගත්තත් ටීරා සාමාන්‍යය සීබ්‍රාවන් අතර කොපමණ කාලයක් දිවි රැකගනීද යන්නට ගැටලුවක්.

ටීරා සාමාන්‍යය සීබ්‍රාවන් අතර
 
කාඩ් කූට්ටමක් ඇනීම තුලින් විවිධ සංකලන ලැබෙන්නෙ යම් සේද, ස්වභාවධර්මය නිරන්තරයෙන්ම ජාන කිටුව විවිධ සංකලන තුලින් අත්හදා බැලීම් සිදු කරනවා. මේ එවන් පරිණාමික අත්හදා බැලීමක්. ටීරා බිහිසුණු අප්‍රිකානු විලෝපිකයන්ගෙන් ගැලවී ඉදිරි පරම්පරාවනට සිය ජාන ලබා දෙයිද ? නැතිනම් කෙස් පොදක් හෝ ඉතුරු නොවන ලෙස සැවනා බිම් තුල විලෝපිකයන්ට ගොදුරු වෙයිද ? මේ ස්වභාවධර්මයේ අත්හදා බැලීම් පසුගිය වසර මිලියන ගනනක සිටම මසායි මාරාව දකින්න ඇති. එළඹෙන සෘතු විපර්යාස සමයන්, සීබ්‍රා සංක්‍රමණික රටාවන් ටීරාගෙ දෛවය තීරණය කරනු ඇති.
 
 
 
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


පිටසක්වල ජීවීන් විසින් තැනු ප්‍රතිමා ? (Who built these statues? Aliens?)


ඊස්ටර් දුපත කියන්නෙ චිලී රාජ්‍යට අයත් පාලන ප්‍රදේශයක්. වර්තමානයේදි ඊස්ටර් දූපත ලෙස හැඳින්වුවාට ස්වදේශික භාෂාවෙන් හඳුන්වන්නේ රැපානූයි ලෙස. ඊස්ටර් දූපතේ සිට ඈත සාගරය දෙසට නෙත් යොමා සිටින ප්‍රතිමා ඉතාමත් අභිරහස් නිර්මාණ ලෙස බොහෝ දෙනෙක් හඳුන්වනවා. ටොන් ගනනාවක් බරැති මේ ප්‍රතිමා මනුශ්‍යන් විසින් තැනකින් තවත් තැනකට ගෙන යා නොහැක බවත් ඒවා පිටසක්වල ජීවීන්ගෙ තාක්ෂණය තුලින් ප්‍රවාහනය කල ඒවා බවටත් සඳහන් යූටුබ් නාලිකා, වැඩ සටහන් සිය ගනනක් ඔබ අන්තර්ජාලය තුල සැරිසැරුවොත්, සොයා බැලුවොත් දකින්න පුළුවන්.

මිනිස් වර්ගයාගෙ දහඩිය මහන්සියෙන් චිත්ත ධෛර්ය සහ සිතීමේ හැකියාව තුලින් බිහිවන විශ්වකර්ම නිර්මාණ පිටසක්වල ජීවයකට ඈඳිමෙන් සිදුකරන හානිය සුළුපටු නෑ. මේ නිර්මාණ මිනිස් ශ්‍රමය තුලින් බිහිවුන ආකාරය සොයා බලනවා වෙනුවට බොහෝ දෙනා යොමුවන්නේ ඒවාට අභිරහස් මුහුණුවරක් ලබාදී ප්‍රචලිත කිරීමට.

රැපානූයි ජනතාව පලමු වරට බටහිර විද්‍යාඥයන්ට නිරාවරණය වන විට මේ ප්‍රතිමාවල ඉතිහාසය ඔවුන්ගෙන් විමසු විට ඔවුන් ප්‍රකාශ කරන්නෙ මේ ප්‍රතිමා ඔවුන් ඇවිද්දවු බවයි. පරම්පරා ගනනාවන සිට යටගිය දැනුම තුලින් ඔවුන්ගෙ නුතන පරම්පරා දැන සිටින්නේ ඒ කතාව පමණයි. "අපේ මුතුන් මිත්තන් මේ ප්‍රතිමා ඇවිද්දෙව්වා" යැයි පැවසිම තුල ගුප්ත බවක් රැඳි තිබෙන නිසාම ඒවා පසෙක දැමීමට බොහෝ දෙනා එකල යුහුසුළු වූවත් ඇවිද්දවීමෙන් මොආයි මොඩලයේ ප්‍රතිමාවක් තැනින් තැනට ගෙන යා හැකි ආකාරය ඔබට පහත වීඩියොවෙන් නරඹන්න පුළුවන්.
 

ඉතාමත් සරළ තාක්ෂණයක් සහ මිනිස් බලය උපයෝගි කරගනිමින් ටොන් ගනනක ප්‍රතිමාවක් ඇවිද්දවන ආකාරය තුල තිබෙන්නෙ පිටසක්වල තාක්ෂණයක් නොව මිනිස් වර්ගයා සතුව පවතින බුද්ධියයි.

වර්තමාන පරම්පරා අතිශයින්ම තාක්ෂණික ලෙස දියුණු උපකරන මත යැපෙමින් සියළු කාරණා ඉතාමත් පහසුවෙන් කරගත්තාට අනාදිමත් කාලයක සිට බොහෝ දේ සිදු කිරීමට විකල්ප ක්‍රමවේද සහ දැනුම සතු ගුරු පරම්පරාවන් සෑම ජාතියක් සතුවම පැවත තිබෙනවා. ඒ නිසා තමන් සතු බුද්ධියට ග්‍රහණය කර ගැනීමට නොහැකි යමක් පැවතුන පලියට ඒවාට පිටසක්වල තාක්ෂණයන් ඈඳිමේ මන්දබුද්ධික ක්‍රියාව සිදු නොකරන්න. මේක ලංකාවේ බොහෝ පෞරාණික නිර්මාණ සම්බන්දයෙනුත් පොදු කාරණයක්. පිටසක්වල ජීවය නොව තමන්ගෙම ආදීතමයන්ගෙ බුද්ධි මහිමයට ලැබිය යුතු ගෞරවය ලබා දීමට වග බලාගන්න.


(වීඩියෝව අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
 #DOE